ඉන්දියාවට සියයට 25ක අතිරේක තීරු බද්දක් පැනවීමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තීරණය කර තිබෙනවා. අමෙරිකානු ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ රුසියාවෙන් තෙල් මිලදී ගැනීමට දඬුවමක් ලෙස ඉන්දියාවට එම අතිරේක තීරු බදු ප්‍රතිශතය පනවන බවයි. ඉන්දියාව අමෙරිකාවට අපනයනය කරන භාණ්ඩ සඳහා සියයට 25ක තීරු බද්දක් පැනවීමට අමෙරිකානු ජනාධිපතිවරයා මීට පෙර තීරණය කර තිබුණා. පනවා ඇති අතිරේක බද්ද හේතුවෙන් ඉන්දියානු භාණ්ඩ සඳහා අමෙරිකාව පනවා ඇති තීරු බදු ප්‍රතිශතය සියයට 50ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. රුසියාවෙන් ඉන්දියාව තෙල් මිලදී ගැනීම සම්බන්ධයෙන් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මීට පෙර අවස්ථා කිහිපයකදී තර්ජනාත්මක ප්‍රකාශ සිදුකර තිබුණා. ඉන්දියාව තවදුරටත් රුසියාවෙන් තෙල් මිලදී ගන්නේ නම් අමෙරිකානු තීරු බදු සැලකිය යුතු ලෙස වැඩි කිරීමට පියවර ගන්නා බවයි ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා තිබුණේ. පසුගියදා සිට ටෘත් සෝෂල් සමාජ මාධ්‍ය ගිණුමේ සටහනක් තබමින් අමෙරිකානු ජනාධිපතිවරයා පැවසුවේ ඉන්දියාව රුසියාවෙන් විශාල වශයෙන් තෙල් මිලදී ගැනීමෙන් පමණක් නොනැවතී විවෘත වෙළඳපොළේ එම තෙල් තොග අලෙවි කර විශාල වශයෙන් ලාභ උපයන බවයි. නව අතිරේක තීරු බද්ද පනවමින් ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා ඇත්තේ ඉන්දියාව රුසියාවෙන් තෙල් ආනයනය කිරීම අමෙරිකාවට අසාමාන්‍ය තර්ජනයක් ඇති කරන බවයි. ඉන්දියාවට පනවා ඇති මූලික තීරු බද්ද අගොස්තු 07 වනදා සිට බලාත්මක වන අතර ඊයේ දිනයේ සිට පැනවූ අතිරේක තීරු බද්ද දින 21කට පසු බලාත්මක වනු ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ. මේ හේතුවෙන් මෝටර් රථ අමතර කොටස්, රෙදිපිලි, ඉලෙක්ට්‍රොනික උපකරණ වැනි ඉන්දියානු අපනයනවල පිරිවැය ඉහළ යනු ඇති බවයි එම වාර්තාවල දැක්වෙන්නේ. එමෙන්ම එම අතිරේක බදු පැනවීම ඉන්දියාවේ වානේ, රසායනික හා ඖෂධ කර්මාන්තවලටද විශාල බලපෑමක් ඇති කළ හැකි බව විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙනවා.