යුක්‍රේනයේ සටන් විරාම ගිවිසුම මඟ හැර ස්ථිර සාම ගිවිසුමකට සෘජුවම යාමට අවශ්‍ය බව අමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා. ඉකුත් දා පැවති සමුළුවෙන් පසු සිය ටෘත් සෝෂල් සමාජ මාධ්‍ය තුළ සටහනක් තබමින් ඔහු මේ බව පවසා සිටියා. එහි අදහස් දක්වමින් අමෙරිකානු ජනාධිපතිවරයා සඳහන් කර සිටියේ රුසියාව සහ යුක්‍රේනය අතර බිහිසුණු යුද්ධය අවසන් කිරීමට හොඳම ක්‍රමය ස්ථිර සාම ගිවිසුම වන බවයි. සමුළුවෙන් පසුව අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් යුක්‍රේන ජනපති සෙලෙන්ස්කිට දුරකථන ඇමතුමක් මගින්ද මේ බව පවසා තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. එහිදී ද අමෙරිකානු ජනාධිපතිවරයා කල් පවතින සාමයක් ඉල්ලා ඇති අතර යුද ගින්න නතර විය යුතු බවත් ඝාතන නතර කළ යුතු බවත් පවසා තිබෙනවා. කෙසේවෙතත් ඉක්මන් සටන් විරාමයක් අවශ්‍ය බව පැවසුවත් යුද්ධය අවසන් කරන්නේ කෙසේද යන්න පිළිබඳ ඔහුගේ ස්ථාවරය අනාවරණය කර නොමැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. මේ අතර, රුසියානු ජනපති ව්ලැද්මීර් පුටින් විසින් ඩොන්බාස්හි ඩොනෙට්ස්ක් කලාපයෙන් යුක්‍රේනය ඉවත් කර ගැනීමට අවශ්‍ය කරන සාම යෝජනාවක් අමරිකානු ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කර ඇති බවද වාර්තා වනවා. මේ සම්බන්ධයෙන් සමුළුවෙන් පසු පැවති දුරකතන ඇමතුමේදී සෙලෙන්ස්කි වෙත එම යෝජනාව දැනුම්දී තිබෙනවා. කෙසේවෙතත් දින කිහිපයකට පෙර, යුක්‍රේන ජනාධිපතිවරයා ඩොන්බාස් හි පාලනය අත්හැරීම ප්‍රතික්ෂේප කර තිබුණා. සමුළුවෙන් පසු, ට්‍රම්ප් සෙලෙන්ස්කිට කොන්දේසිවලට එකඟ වන ලෙස බලපෑම් කිරීමට උත්සාහ කරනු ඇති බව පවසමින් යුරෝපීය රාජ්‍ය තාන්ත්‍රිකයින් කනස්සල්ලට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.
Published