මේ වනවිට ශ්‍රී ලංකා රේගුව භාරයේ රඳවාගෙන සිටින බී .වයි.ඩී වාහන 991 ක් කොන්දේසි කිහිපයකට යටත්ව මුදා හැරීමට රේගු අධ්‍යක්ෂ ජනරාල් වරයා අද අභියාචනාධිකරණය හමුවේ එකගතාවය පළ කළා. ශ්‍රී ලංකා රේගුව විසින් රඳවාගෙන සිටින අදාල වාහන මුදා හැරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ජෝන් කීල්ස් සී ජී සමාගම විසින් ඉදිරිපත් කළ පෙත්සමක් අද අභියාචනාදීකරණයේ සලකා බැලූ අවස්ථාවේදී මෙම එකගතාවය පළ කළා. මෙම පෙත්සම අද අභියාචනාදීකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා. එහිදී ශ්‍රී ලංකා රේගුවේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයාගේ ලිපියක් අධිකරණය හමුවට ඉදිරිපත් කරමින් කරුණු දැක්වූ අතිරේක සොලිසිටර් ජනරාල් සුමති ධර්මවර්ධන මහතා කොන්දේසි කිහිපයක් යටතේ මෙම රඳවාගෙන සිටින වාහන 991 ක් මුදා හැරීම සම්බන්ධයෙන් සලකා බැලිය හැකි බව පැවසුවා. ඒ අනුව අදාළ වාහනවල බදු අතර පවතින පරතරය ලෙස ගණනය කර තිබෙන රුපියල් 3,552,909,200/- (රුපියල් බිලියන 3.6 කට ආසන්න) මුදල රාජ්‍ය බැංකුවක ඇපකරයක් වශයෙන් පෙත්සම්කාර සමාගම විසින් ඉදිරිපත් කළ යුතු අතර එම ඇපකරය සඳහා අදාල වන පොලිය පෙත්සම්කාර සමාගම විසින් ගෙවීමට එකඟ විය යුතු බවත් එම කොන්දේසි වල සඳහන් වුණා. මෙම වාහන සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රේගුව මගින් සිදු කරන පරීක්ෂණ සඳහා පෙත්සම්කාර පාර්ශවය සහාය විය යුතු බවත් එම ලිපියේ කොන්දේසියක් ඇතුළත් වුණා. ඊට අමතරව අදාළ වාහනවල මෝටරයේ ධාරිතාව කිලෝ වොට් 100 ද නැතිනම් 150 ද යන්න නිගමනය කිරීම සඳහා පේරාදෙණිය හා මොරටුව විශ්ව විද්‍යාලවල තාක්ෂණික විශේෂඥයින් දෙදෙනෙකු, රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ විශේෂඥයෙකු , මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ විශේෂඥ නිලධාරියකු ඇතුලත් කමිටුවක් පත් කිරීම ද ඊට ඇතුළත් කොන්දේසියක්. ඊට අමතරව නීතිපතිවරයා සමග සාකච්ඡා කර මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයාගේ අනුමැතියට යටත්ව අදාළ වාහනවල මෝටරයේ ධාරිතාව පිළිබඳව ජාත්‍යන්තර වශයෙන් පිළිගත් මෝටර් රථ තත්ත්ව පරීක්ෂණාගාරයකින් වාර්තාවක් කැඳවීමට කටයුතු කිරීම ඇතුළු කොන්දේසි කීපයක් රේගු අධ්‍යක්ෂ ජෙනරාල්වරයා අධිකරණයට ඇතුළත් කළ ලිපියේ සඳහන් වුණා. එම කොන්දේසි අතුරින් බොහොමයකට තමන් එකඟ බව පෙත්සම්කාර පාර්ශවයේ ජනාධිපති නීතිඥ ෆර්සානා ජමිල් මහත්මිය අධිකරණයට දැනුම් දුන්නා. ඉන් අනතුරුව අදාල වාහන මුදා හැරීමට අධිකරණය හමුවේ එකඟතාවය පළ වුණා. මෙහිදී රේගු අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ඇතුළු වග උත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් සුමති ධර්මවර්ධන මහතා අධිකරණයට දැනුම් දුන්නේ පෙත්සම්කාර සමාගම අද දින අදාල බැංකු ඇපකරය ඉදිරිපත් කරන්නේ නම් අදාල වාහන ලබන සෙනසුරාදා මුදා හැරීමට හැකියාව තිබෙන බවයි. ඒ අනුව අදාල බැංකු ඇපකරය අද දින ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බවත් පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆර්සානා ජමිල් මහත්මිය අධිකරණයට දැනුම් දුන්නා. ඉන් අනතුරුව පෙත්සම සැප්තැම්බර් මස 03 වනදා යළි කැඳවීමටද නියම වුණා.