කටුනායක සිට තුර්කියේ ඉස්තාන්බුල් නුවර බලා පිටත්ව ගිය තුර්කි ගුවන් සේවයේ ගුවන් යානයේ රෝද පද්ධතිය කාර්මික දෝශයකට ලක් වීම නිසා යළි ආපසු ආරක්ෂිතව කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩබැස්සවීමට එම යානයෙහි ගුවන් නියමුවා සමත් වූ බව ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා අද(17) දින අලුයම පැවසුවා.

තුර්කි ගුවන් සේවයට අයත් ටී.කේ.- 733 දරන මෙම ගුවන් යානය කටුනායක ගුවන් තොටුපොළෙන් මගීන් 202 ක් සහ ගුවන් යානා කාර්යය මණ්ඩලය 10 දෙනෙකු රැගෙන ඊයේ(16) රාත්‍රී 10.00 ට තුර්කියේ ඉස්තාන්බුල් නුවර බලා පිටත්ව ගියා.

එම ගුවන් යානය ප්‍රංශයේ නිෂ්පාදිත ඒ.- 330 එයාර් බස් වර්ගයේ විශාලතම මගී ගුවන් යානයක් වනවා.

මෙම ගුවන් යානය පිටත්වී සුළු වෙලාවකින් එහි රෝද පද්ධතිය නිසි පරිදි ගුවන් යානය තුළට හැකිලීම සිදු නොවන බව ගුවන් නියමුවාට දැන ගැනීමට හැකි වී තිබුණා.

ඒ අනුව හලාවත මුහුදු ප්‍රදේශය වෙත ගුවන් යානය රැගෙන ගොස් අඩි 4,000 ක පමණ උසකින් නොට්ස් 140 ක පමණ වේගයකින් පියාසර කරමින්, ගුවන් යානයෙහි වූ ඉන්ධන , කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණීමට අවශ්‍ය ප්‍රමාණය ඉතිරි කර ගනිමින්, ඉතිරි සියල්ල දහනය වන තුරුම හලාවතට ඉහල අහසේ පියාසර කිරීමට පියවර ගෙන තිබෙනවා.

පසුව අද(17) දින අලුයම 12.27 ට මෙම ගුවන් යානය ආරක්ෂිත කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩබැස්සවීමට මෙම ගුවන් යානයෙහි නියමුවා සමත් වී තිබෙනවා.

එහෙත් මේ වෙනුවෙන් කටුනායක ගුවන් තොටුපොළ තුළ ගිලන් රථ, ගිනි නිවීම් රථ, වෛද්‍ය කාර්යය මණ්ඩල, ගලවා ගැනීමේ භටයන් මෙන්ම මීගමුව කළපුව තුළ ද විශේෂ බෝට්ටු සහ ගලවා ගැනීමේ භටයන් ස්ථාපිත කර තිබුණා.