පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතාගේ දියණිය වන රොෂෙල් අබේගුණවර්ධන මහත්මිය අද ඇප මත මුදාහැරියා.

ඒ, වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය මගින් අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව මතුගම පොලීසිය භාරයේ සිටි ඇය මතුගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදීයි.

එහිදී අධිකරණය නියෝග කළේ ඇය රුපියල් ලක්ෂ 20 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහරින ලෙසයි.

ව්‍යාජ දත්ත ඇතුළත් කර ලියාපදිංචි කළ ජීප් රථ ගණුදෙනුවක් සම්බන්ධයෙන් වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය මගින් ඇය අත්අඩංගුවට ගනු ලැබුවේ නීතිඥයෙකු මාර්ගයෙන් ඊයේ උදෑසන එම ඒකකය වෙත භාරවූ අවස්ථාවේදීයි.

එහිදී ඇයගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීමෙන් අනතුරුව එම ඒකකය විසින් ඇය ඉදිරි විමර්ශන සඳහා මතුගම පොලිස් ස්ථානය වෙත ඊයේ රාත්‍රියේ භාරදී තිබුණා.

මෙම සිද්ධියට අදාල ජීප් රථය වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය සිය භාරයට ගනු ලැබුවේ ඉකුත් ජූලි 19 වනදායි.

මතුගම නගරයේදී එම ජීප් රථය සමග එය පැදවූ සමගි ජන බලවේගයේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතාන මහතගේ පුත් රසික විතාන මහතා ද අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

පසුව ඔහු ද ඇප මත මුදාහැරියා. මෙම සිද්ධියට අදාළව පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතාගේ බෑනා වන ධනුෂ්ක වීරක්කොඩි මහතා ද අධිකරණයට භාරවීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

සිය දියණිය ඇප මත මුදාහැරීමෙන් අනතුරුව පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා මාධ්‍ය හමුවේ මෙලෙස අදහස් පල කළා.