නුවරඑළිය ඩිපෝවට අයත් ලංගම බස් රථයක එංජිමට යූරියා පොහොර දැමීමේ සිද්ධියක් සම්බන්ධයෙන් නුවරඑළිය, හයිෆොරස්ට් පොලීසිය මගින් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. පසුගිය 12 වනදා රාත්‍රියේ නුවරඑළිය, හයිෆොරස්ට් ප්‍රදේශයේ ගාල්කර තිබූ NB - 8933 දරන බස් රථයට කිසියම් අයෙකු ඇතුළු වී එහි එංජිමේ මූඩිය ගලවා යූරියා පොහොර බවට සැක කෙරෙන රසායනික ද්‍රව්‍යයක් දමා ඇති බවට පොලීසියට පැමිණිලි කර ඇත්තේ අදාල බස් රථයේ රියදුරා සහ කොන්දොස්තරවරයා විසින්. රාත්‍රී කාලයේ ගාල් කර තිබූ බස් රථය උදෑසන ධාවනය කිරීමට ප්‍රථම එංජිමේ තෙල් පරීක්ෂා කිරීම සඳහා එංජිමේ ආවරණය විවෘත කර බැලීමේදී එහි මූඩිය ගලවා තිබූ බවයි බස් රථ රියදුරා සහ කොන්දොස්තරවරයා පොලීසියට පවසා ඇත්තේ. අදාල ස්ථානයේ සුදු පැහැති යූරියා පොහොරවලට සමාන ද්‍රව්‍යයක් වැටී තිබූ බවද ඔවුන් පොලීසිය හමුවේ පවසා තිබෙනවා. ඒ අනුව අදාල බස් රථය පණ නොගන්වා නුවරඑළිය ඩිපෝව වෙත ඇඳගෙන යාමට ඩිපෝ කළමනාකාරවරයා පියවර ගෙන ඇති බව නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කළා. රංජිත් රාජපක්ෂ