ඉන්දියාවේ පැවති 04 වන දකුණු ආසියානු ජ්‍යේෂ්ඨ මළළ ක්‍රීඩා තරගාවලියට සහභාගී වී එම තරඟාවලියේ අනු ශූරතාව හිමි කරගත් ශ්‍රී ලංකා මළළ ක්‍රීඩා කණ්ඩායම අද අලුයම යළි දිවයිනට පැමිණියා.

ඉන්දියාවේ චෙන්නායි නුවර සිට ඉන්ඩිගෝ ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් අද අලුයම 02.10 ට පමණ එම කණ්ඩායම කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි බවයි කටුනායක ගුවන් තොටුපොළ නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

රන් පදක්කම් 16ක්, රිදී පදක්කම් 14ක් සහ ලෝකඩ පදක්කම් 10ක් ලෙස සමස්ථ තරගාවලියේදී පදක්කම් 40 ක් දිනා ගනිමින් ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් එහි අනු ශූරතාවය දිනා ගනු ලැබුවා.

මෙම තරගාවලිය ඉකුත් පසුගිය 24 වනදා සිට 26 වනදා දක්වා ඉන්දියාවේ රංචි නුවරදී පැවැත්වුණා.

ශ්‍රී ලංකා මළල ක්‍රීඩා කණ්ඩායම පිළිගැනීම සදහා තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා, ත්‍රිවිධ හමුදා වල ක්‍රීඩා අංශ නියෝජනය කරන නිලධාරීන්, එම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ මව්පියන් සහ පාසල්වල ගුරු භවතුන් ඇතුළු විශාල පිරිසක් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටි බවයි නෙත් නිවුස් වාර්තාකරු වැඩිදුරටත් සඳහන් කළේ.