2026 වර්ෂයට අදාළ විසර්ජන පනත් කෙටුම්පත පළමුවර කියවීම සඳහා පාර්ලිමේන්තුවට අද ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී එම තීරණය ගත් බවයි පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සදහන් කළේ.

2026 වර්ෂයට අදාළ විසර්ජන පනත් කෙටුම්පත දෙවනිවර කියවීම ලබන නොවැම්බර් 07 වනදා සිදු කිරීමට එහිදී තීරණය කර තිබෙනවා.

ඒ අනුව නොවැම්බර් 08 වනදා සිට දෙසැම්බර් 05 වනදා දක්වා විවාදය පැවැත්වීමට නියමිතයි.

මුදල් විෂය භාර අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා විසින් නොවැම්බර් මස 07 වනදා විසර්ජන පනත් කෙටුම්පත දෙවනිවර කියවීම හෙවත් අයවැය කථාව සිදු කිරීමට නියමිතව තිබෙනවා.

ඉන් අනතුරුව නොවැම්බර් මස 08 වනදා සිට නොවැම්බර් මස 14 වනදා දක්වා දින 06ක් දෙවනවර කියවීමේ විවාදය පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී පසුගියදා තීරණය වී තිබෙනවා.

ඒ අනුව නොවැම්බර් මස 14 වනදා පස්වරු 06.00ට දෙවනවර කියවීමේ ඡන්ද විමසීම පැවැත්වෙනු ඇති.

නොවැම්බර් මස 15 වනදා සිට දෙසැම්බර් මස 05 වනදා දක්වා දින 17ක් කාරක සභා අවස්ථාවේ විවාදය පැවැත් වීමට නියමිතයි.

දෙසැම්බර් මස 05 වනදා පස්වරු 06.00ට අයවැය තෙවනවර කියවීමේ ඡන්ද විමසීම පැවැත්වීමට නියමිතව තිබෙනවා.

මෙම කාලසීමාව තුළ රජයේ නිවාඩු දින සහ ඉරිදා හැර සෙනසුරාදා දින ඇතුළුව සෑම දිනකම අයවැය විවාදය පැවැත්වීමට නියමිත බවයි පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

එමෙන්ම කාරක සභා අවස්ථාවේ විවාද කාලසීමාව තුළ පාර්ලිමේන්තුව සඳුදා දිනවල පෙරවරු 09.30ටත්, සෙසු සෑම දිනකම පෙරවරු 09.00ටත් රැස්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය වී තිබෙනවා.