නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්පූර්ණයෙන්ම අවසන් කර නොමැති බව අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය, ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය පවසනවා.

අග්‍රාමාත්‍යවරිය සඳහන් කළේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යනු සංවාද, අදහස්, යෝජනා සහ භාවිතයේ ඇති ගැටලු හඳුනාගනිමින් පියවරෙන් පියවර නම්‍යශීලීව සිදු කරන ක්‍රියාවලියක් බවයි.

ඒ අනුව ඒ සඳහා අදහස් හා යෝජනා ලබාදීමට තවදුරටත් අවස්ථාව පවතින බවත් එය දීර්ඝ කාලීන සැලසුමක් බවත් අග්‍රාමාත්‍ය අචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය සඳහන් කළා.

ලබන වසරේදී පළමු ශ්‍රේණියේ සහ හයවන ශ්‍රේණියේ දරුවන්ට නව විෂය නිර්දේශ හඳුන්වා දෙන බවයි අධ්‍යාපන අමාත්‍යවරිය පැවසුවේ.

අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය, ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය මෙම අදහස් පළ කළේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් පළාත් අධ්‍යාපන බලධාරින් දැනුවත් කිරීමේ වැඩසටහනකට එක්වෙමින්.

මෙහිදී පෙළපොත් වෙනුවට නව මොඩියුල් ක්‍රමය හඳුන්වාදීම, නව කාලපරිච්ඡේද සැකසීම, ස්වයං අධ්‍යාපනය, ප්‍රායෝගික ක්‍රියාකාරම්, විෂයන් තෝරා ගැනීම, එක් එක් දරුවන් සඳහා ඇගයීම ඇතුළු නව ප්‍රතිසංස්කරණයට අදාළ කරුණු රැසක් මෙහිදී සාකච්ඡා කර තිබෙනවා.