සිම්බාබ්වේ කණ්ඩායම සමග පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරඟයේදී වාර්තාගත පිති හරඹයක නිරත වීමට දකුණු අප්‍රිකානු ක්‍රීඩක වියාන් මුල්ඩර් සමත් වුණා.
ඒ, නොදැවී ලකුණු 367ක් රැස් කර ගනිමින්.
පන්දු 334කදී වාර්තා වූ ඔහුගේ ඉනිමට හතරේ පහර 49ක් සහ හයේ පහර 04ක් ඇතුළත් වුණා.
මෙම තරඟාවලියේදී දකුණු අප්‍රිකානු කණ්ඩායම මෙහෙයවීමේ වගකීම පැවරුණු කේෂව් මහරාජ් ආබාධයකට ලක්වීම හේතුවෙන් මෙම තරඟයේදී දකුණු අප්‍රිකානු කණ්ඩායමේ නායකත්වය පැවරුණේද වියාන් මුල්ඩර්ටයි.
ඒ අනුව වසර 21ක් පැරණි බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩක බ්‍රයන් ලාරා පිහිටුවා ඇති එක් ටෙස්ට් ඉනිමක වැඩිම ලකුණු සංඛ්‍යාව වන නොදැවී ලකුණු 400ක් ලබා ගැනීමේ වාර්තාව මුල්ඩර් විසින් බිඳ දමනු ඇත්දැයි බොහෝ ක්‍රිකට් විචාරකයින් මෙම තරඟය අතරතුර මත පළ කර තිබුණා.
කෙසේවෙතත් දකුණු අප්‍රිකානු ලකුණු පුවරුව කඩුලු 05කට ලකුණු 626ක් ලෙස සටහන්ව තිබියදී මුල්ඩර් දකුණු අප්‍රිකානු ඉනිම අත්හිටුවීමට ගත් තීරණය ලොව බොහෝ ක්‍රීඩාලෝලීන් මවිත කළ තීරණයක් බවට පත්ව තිබෙනවා.
මෙම ටෙස්ට් තරඟයේ දෙවන දිනය වූයේ අද දිනය බැවින් සම්පූර්ණ දිනයම ක්‍රීඩා කිරීමට දකුණු අප්‍රිකානුවන්ට අවස්ථාව පැවතුණා.
එමෙන්ම දකුණු අප්‍රිකානුවන් කඩුලු 05ක් අතැතිව සිටි නිසා බ්‍රයන් ලාරාගේ වාර්තාව දක්වා ගමන් කිරීමට වියාන් මුල්ඩර්ට අවස්ථාව පැවතුණා.
කෙසේවෙතත් ලකුණු 367ක් ලබා සිටි මුල්ඩර් සිය ඉනිම අත්හිටවනු ලැබුවේ ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ එක් ඉනිමක රැස් කළ පස්වන වැඩිම ලකුණු සංඛ්‍යාව සිය නම ඉදිරියේ සනිටුහන් කර ගනිමින්.
එමෙන්ම කිසියම් ක්‍රීඩකයෙකු නායකත්වයට පත්වීමෙන් පසු ක්‍රීඩා කළ පළමු ටෙස්ට් ඉනිමේදී වාර්තා කළ වැඩිම ලකුණු සංඛ්‍යාව ලෙසද මෙය වාර්තා අතරට එක්වුණා.
මීට පෙර නවසීලන්ත ක්‍රීඩක ග්‍රැහැම් ඩවුලින් තමන් නායකත්වය ලබා දුන් පළමු ටෙස්ට් තරඟයේදී ලකුණු 239ක් ලබා ගනිමින් එම වාර්තාව පිහිටුවා තිබුණා.
ඒ, ඉන්දියාවට එරෙහිව 1968 වසරේදීයි.
ඒ අනුව වියාන් මුල්ඩර් විසින් බිඳ දමනු ලැබුවේ වසර 57ක් පැරණි වාර්තාවයි.