ලෝක ක්‍රිකට් පිටියේ විශිෂ්ටතම පන්දු යවන්නෙකු වන ඕස්ට්‍රේලියාවේ මිචෙල් ස්ටාර්ක් ජාත්‍යන්තර විස්සයි විස්ස තරඟවලින් විශ්‍රාම ගන්නා බව නිවේදනය කර තිබෙනවා. ඒ, 2027 එක්දින ක්‍රිකට් ලෝක කුසලානයට ප්‍රමුඛතාවය දීම සඳහායි. එමෙන්ම ලබන වසරේ අග භාගයේ සිට ඕස්ට්‍රේලියාවේ ටෙස්ට් කාලසටහන කාර්ය බහුල බැවින් ඊට ද ප්‍රමුඛතාවය දීම ඔහුගේ මෙම තීරණයට හේතුවයි. 35 හැවිරිදි ස්ටාර්ක් 2012 දී සිය මංගල දර්ශනයට සහභාගී වීමෙන් පසු මේ දක්වා විස්සයි විස්ස තරඟ 65ක් ක්‍රීඩා කර තිබෙනවා. 2021 එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවති විස්සයි විස්ස ලෝක කුසලානය දිනාගත් ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ සාමාජිකයෙක් ද වන ඔහු ක්‍රිකට් පිටියේ අධි වේගයෙන් පන්දු යවන වමත් වේග පන්දු යවන්නෙකු ලෙසයි සැලකෙන්නේ. මිචෙල් ස්ටාර්ක් විස්සයි විස්ස තරඟවලදී කඩුලු 79ක් බිඳ හෙලා තිබෙනවා. ඔහුගේ සමුගැනීම පිළිබඳ අදහස් දැක්වූ ඕස්ට්‍රේලියානු තේරීම් කමිටු සභාපති ජෝර්ජ් බේලි පවසා ඇත්තේ පැයට කිලෝමීටර 145ක වේගයෙන් නව පන්දුව දෝලනය කරන කෙනෙකු සොයා ගැනීමට හැකි වේ යැයි තමාට විශ්වාසයක් නොමැති බවයි.