Published
ලෝකවාසී ඉස්ලාමීය බැතිමතුන් මහත් ගෞරවයෙන් සමරනු ලබන මුහම්මද් නබිනායක තුමන්ගේ ජන්ම දිනය හෙවත් මිලාද් උන් නබි උත්සවය අදට යෙදී තිබෙනවා. මේ, මෙම දිනයේ වැදගත්කම සම්බන්ධයෙන් කරුණු දැක්වූ මුල්ෆර් මෞලවිතුමා.
මිලාද් උන් නබි උත්සවය වෙනුවෙන් සුබපැතුම් පණිවිඩයක් නිකුත් කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පෙන්වා දෙන්නේ ඉස්ලාම් ආගමේ අවසන් නබිතුමන් වූ මුහම්මද් නබිනායක තුමන් දැහැමි සමාජයක් ගොඩනැඟීම සඳහා කැපවූ සහ ඒ වෙනුවෙන් විශිෂ්ට මෙහෙයුමක් කළ ආගමික ශාස්තෘවරයෙකු බවයි. එතුමන්ගේ ඉගැන්වීමේ පදනම වූයේ ජාතියෙන්, කුලයෙන් හෝ වර්ණයෙන් එක් පුද්ගලයෙකු තවත් කෙනෙකුට වඩා උසස් හෝ පහත් නොවන බවට වූ සමානාත්මතාව පිළිබඳ මහඟු සංකල්පයයි. සමාජයේ ඇති නැති පරතරය සහ දුරස් බව මුලිනුපුටා දමා සමානාත්මතාව මිනිස් හදවත්හි රෝපණය කිරීමට අරගලයක් දියත් කළ නබි නායකතුමන්ගේ ආදර්ශය, වත්මනෙහි අප හමුවේ ඇති සමාජමය අභියෝග ජය ගනිමින් සමානාත්මතාවයෙන් සපිරි නීතිගරුක සහ සාරධාර්මික රටක් ගොඩනැගීමට දරන ප්‍රයත්නයේදී නොනිමෙන ආලෝකයක් සපයන බව සිය විශ්වාසය වන බවයි ජනාධිපතිවරයා එම සුබ පැතුම් පණිවිඩයේ සඳහන් කර ඇත්තේ. සෑම ලෙසකින්ම බිඳුණු අප සමාජයට මනුෂ්‍යත්වය මහ ප්‍රේමය කැටුව එමින් නව හර පද්ධතියක් මත රට උසස් තලයකට ඔසවා තැබීමට අප දරන වෑයමේදී අප හා එම ගමනට එක්ව සිටින සැමට නබිනායක තුමන්ගේ සැබෑ ජීවන ආදර්ශය ජීවිතවලට සමීප කර ගනිමින් මෙවර මිලාද් උන් නබි සැමරුම වඩා අර්ථවත් කර ගැනීමට ආරාධනා කරන බවද ජනාධිපතිවරයා නිකුත් කළ මිලාද් උන් නබි උත්සව දින සුබපැතුම් පණිවිඩයේ වැඩිදුරටත් සඳහන්.