ලොව වයස්ගතම මැරතන් ධාවකයා ලෙස සැලකෙන බි්‍රතාන්‍ය – ඉන්දීය සම්භවයක් සහිත ෆවුජා සිං මියගොස් තිබෙනවා.
ඒ, ඉන්දියාවේ දී සිදු වූ මෝටර් රථ අනතුරකින්.
ඒ වන විට ඔහුගේ වයස අවුරුදු 114ක්.
පන්ජාබ්හි ඔහු ඉපදුණු ගම්මානයේ මාර්ගයක් හරහා ගමන් කරමින් සිටියදී ෆවුජා සිං මෝටර් රථයක ගැටී ඇති අතර ප්‍රදේශවාසීන් ඔහුව රෝහලට ගෙන ගියද ඔහු මියගොස් තිබෙනවා.
1911දී පන්ජාබ්හි උපත ලබන සිංගේ පාදවල ගැටලුවක් හේතුවෙන් ඔහුට වයස අවුරුදු පහ වන තුරු නිසි ලෙස ඇවිදීමට පවා නොහැකි වූ අයෙක්.
එවන් අයෙකු ලොව දන්නා මැරතන් ක්‍රීඩකයෙකු වීම සුවිශේෂී බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.
1990 දශකයේ මුල් භාගයේදී ලන්ඩනයට ගිය ඔහු පසුව ඉන්දියාවේ සිදුකල සංචාරයකදී, ඔහුගේ බාල පුත්‍රයාද හදිසි අනතුරකින් මිය ගොස් තිබීම විශේෂත්වයක්.
ලොව පුරා ජනප්‍රිය චරිතයක් වූ සිං, වයස අවුරුදු 100 ඉක්මවූ විට ද විවිධ වයස් කාණ්ඩ හරහා මැරතන් ධාවන තරඟවලට එක්වෙමින් වාර්තා පවා පිහිටුවීමට සමත් වී තිබෙනවා.
2012 ලන්ඩන් ඔලිම්පික් උළෙල සඳහා පන්දම් රැගෙන ගිය ෆවුජා සිං, 2011 දී ටොරොන්ටෝහි මැරතන් තරඟයක් සම්පූර්ණයෙන්ම අවසන් කළ වයස අවුරුදු 100 සපිරුණු පළමු ක්‍රීඩකයා බවට ඉතිහාසයට එක් වුණා.
ඔහු මිය යන තෙක්ම ඉතා කඩිසර හා ක්‍රියාශීලී අයෙකු වූ අතර සෑම දිනකම සැතපුම් කිහිපයක් ඇවිද යාම ඔහුගේ පුරුද්දක් බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.
ඔහු කෙතරම් දක්ෂ ක්‍රීඩකයෙකු වුවද ලොව වයස්ගතම මැරතන් ධාවකයා ලෙස ගිනස් ලෝක වාර්තාව ෆවුජා සිංට හිමිවන්නේ නැහැ.
ඒ, ඔහු උපන් වර්ෂය 1911 බවට පෙන්වීමට ඔහුට උප්පැන්න සහතිකයක් නොමැති වීම හේතුවෙන්.
ඔහු ඉපදුණු අවස්ථාවේ ඉන්දියාවේ උප්පැන්න සහතික ලබා නොදීම ඊට හේතුවයි.
මරණය සැලවීමෙන් පසු ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පවසා ඇත්තේ ඔහු “ඇදහිය නොහැකි අධිෂ්ඨානයක් සහිත සුවිශේෂී ක්‍රීඩකයෙකු” බවයි.