බොට්ස්වානා ස්වාධීන මැතිවරණ කොමිසම සහ පාර්ලිමේන්තු අධ්‍යයනය සඳහා ජාත්‍යත්තර මධ්‍යස්ථානයේ සම සත්කාරකත්වයෙන් ලෝකයේ මැතිවරණ කොමිෂන් සභා ක්‍රියාත්මක වන රටවල් අතර පැවැති සම්මාන ප්‍රධානෝත්සවයේ දී වඩා දියුණු ප්‍රජාතන්ත්‍රවාදී භාවිතාවන් ක්‍රියාත්මක වන රටවල් අභිබවමින් ලොව හොඳම මැතිවරණ කොමිසම ලෙස තේරී පත්වන්නට ශ්‍රී ලංකා මැතිවරණ කොමිසමට හැකියාව ලැබුණා

එම තේරී පත්වීම ගැන පැෆ්රල් සංවිධානය සුබපැතුම් එක්කර තිබෙනවා.

මේ සම්බන්ධයෙන් පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා සඳහන් කර සිටියේ මෙවැන්නක්

"
බොට්ස්වානා ස්වාධීන මැතිවරණ කොමිසම සහ පාර්ලිමේන්තු අධ්‍යයනය සඳහා ජාත්‍යත්තර මධ්‍යස්ථානයේ සම සත්කාරකත්වයෙන් ලෝකයේ මැතිවරණ කොමිෂන් සභා ක්‍රියාත්මක වන රටවල් අතර පැවැති සම්මාන ප්‍රධානෝත්සවයේ දී වඩා දියුණු ප්‍රජාතන්ත්‍රවාදී භාවිතාවන් ක්‍රියාත්මක වන රටවල් අභිබවමින් ලොව හොඳම මැතිවරණ කොමිසම ලෙස තේරී පත්වන්නට ශ්‍රී ලංකා මැතිවරණ කොමිසමට හැකියාව ලැබීම රටක් ලෙස අප ලබාගත් විජයග්‍රහණයක් බව අපගේ විශ්වාසයයි. විශේෂයෙන්ම මැතිවරණ කොමිසම සමඟ ඉතා සමීපව කටයුතු කරනු ලබන පාර්ශවරුවෙක් ලෙස මෙකී සුවිශේෂී ජයග්‍රහණය පිළිබඳව පැෆ්රල් සංවිධානයේ සුභපැතුම් පිරිනැමීමට මේ මොහොත අවස්ථාවක් කර ගනිමි.

ලොව සියලු රටවල මැතිවරණ කොමිෂන් සභා සහ මැතිවරණ ක්‍රියාවලිය අධ්‍යයනය කර සම්මාන සඳහා සුදුස්සන් තෝරාගෙන ඇති අතර විශේෂයෙන්ම යහපත් පුරවැසියන්ගෙන් සමන්විත ප්‍රජාවක් නිර්මාණය කිරීමට ගන්නා ලද සුවිසල් උත්සාහය වෙනුවෙන් මෙම සම්මානය හිමිවීම විශේෂත්වයකි.

මැතිවරණ දෙපාර්තමේන්තුව මැතිවරණ කොමිෂන් සභාව ලෙස නිර්මාණය වීමෙන් පසු එහි පළමු සභාපති ධුරය හෙබවූ මහින්ද දේශප්‍රිය මහතා මැතිවරණ කොමිසම ජනතාව අතරට ගෙන යන්නට මූලික අඩිතාලම දැමූ පුද්ගලයා ලෙස හැඳින්වීම අතිශයෝක්තියක් නොවේ. විශේෂයෙන්ම සිය මැතිවරණ නිලධාරීන්, සිවිල් සංවිධාන සහ ජනමාධ්‍ය වලද සහයෝගය ලබා ගනිමින් සුදුසුකම්ලත් සියල්ලන් ඇතුළත් ජන්දහිමි නාමලේඛනයක් වෙනුවෙන් ඔහු ගෙනගිය වැඩ පිළිවෙල ජනතා ආකර්ශනය දිනා ගන්නට සමත් වු බව නොරහසකි.

ඉන්පසු මැතිවරණ කොමිසමේ සභාපති ධුරයට පත් නිමල් පුංචිහේවා මහතාද එකී ක්‍රියාවලිය ඉදිරියට ගෙන යාමට සමත් විය. ආර්.එම්.ඒ.එල්.රත්නායක මහතාගේ සභාපතිත්වයෙන් යුත් වර්තමාන මැතිවරණ කොමිසම, මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා ඇතුළු අනෙකුත් නිලධාරින්ගේද සහයෝගය සහිතව නවමු අත්හදාබැලීම් රැසක් සිදු කරමින් මැතිවරණ කොමිෂන් සභා ඉතිහාසයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කිරීම සුවිශේෂී තත්ත්වයකි. ඒ අනුව පුරවැසියන්ට තාක්ෂණය භාවිතා කරමින් මැතිවරණ කොමිසමේ සේවාවන් වඩා පහසුවෙන් ලබාගත හැකි වන පරිදි පියවරයන් රැසක් ගන්නා ලද කාලසීමාවක් ලෙස පසුගිය කාලසීමාව හඳුන්වා දිය හැකිය. මෙකී කාලසීමාව තුළ මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා මැතිවරණ නිරීක්ෂණ සංවිධාන සහ අනෙකුත් සිවිල් සංවිධාන සමඟින් මනා සම්බන්ධීකරණයක් පවත්වා ගනිමින් මහජන මිත්‍රශිලි මැතිවරණ කොමිසමක් නිර්මාණය කිරීම වෙනුවෙන් ගන්නා ලද උත්සාහය පිළිබඳව සියලු පුරවැසියන්ගේ ප්‍රශංසාව හිමිවිය යුතුය.

මැතිවරණයට අදාල සංඥා භාෂා ශබ්ද කෝෂයක් හදුන්වාදීමට පියවර ගැනීම සහ බොහෝ කාලයක් සමාජය තුළ සාකච්ඡාවට බඳුන් වු ආබාධිත ප්‍රජාවට බාධාවකින් තොරව ජන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පතක් ලබාදීම වෙනුවෙන් පැෆ්රල් සංවිධානය කරන ලද මැදිහත්වීම සාර්ථක වූයේද මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතාගේ මැදිහත්වීම තුළය. එමෙන්ම සමාජය තුළ නිර්මාණය වී ඇති පසුගාමී ආකල්ප හේතුවෙන් මැතිවරණ ක්‍රියාවලිය තුළ සිය ඡන්ද අයිතිය සාක්ෂාත් කර ගැනීමට නොහැකි වූ බොහෝ සමාජ කණ්ඩායම් වලට සමාජ වටිනාකමක් දීමට පසුගිය කාලසීමාව තුළ මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයාගේ මූලිකත්වයෙන් ගන්නා ලද ඉදිරිගාමී පියවර ඇගයීමට ලක් විය යුතුය.

රෝමය එක් දිනකින් ගොඩ නැඟුනේ නැතැයි ප්‍රසිද්ධ කියමනක් පවතී. ශ්‍රී ලංකාවේ මැතිවරණ කොමිසම ලෝකයේ හොඳම මැතිවරණ කොමිසම බවට පත්වීම පිටුපස බොහෝ පාර්ශවකරුවන් ඇත්තේය. විශේෂයෙන්ම මැතිවරණ දෙපාර්තමේන්තුවේ හිටපු කොමසාරිස්වරුන්, කොමිෂන් සභාවක් බවට පත්වීමෙන් පසු කොමිෂන් සභා සාමාජිකයින්, අතිරේක මැතිවරණ කොමසාරිස්වරුන්, නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස්වරුන් සහ දිස්ත්‍රික්ක භාර නියෝජ්‍ය/සහකාර කොමසාරිස්වරුන් විවිධ කාලවකවානු වල ඔවුන් විසින් සිදුකරන ලද සේවාවන් අනුව මෙකී ජයග්‍රහණයේ කොටස්කරුවන් වන්නේය.

එමතුදු නොව මැතිවරණ කොමිෂන් සභාව සමඟ ඉතා සමීපව කටයුතු කරන දේශපාලන පක්ෂ, මැතිවරණ නිරීක්ෂණ සංවිධාන ඇතුලු සිවිල් සංවිධාන මෙන්ම මැතිවරණ ක්‍රියාවලියට අනුබද්ධව කටයුතු කරන රාජ්‍ය ආයතනද මෙකී ගෞරවයේ පාර්ශවකරුවන්ය. ප්‍රජාතන්ත්‍රීය භාවිතාවන් ඉහළින් ක්‍රියාත්මක වන දියුණු යැයි සම්මත රටවල් අභිබවමින් මෙවැනි ජයග්‍රහණයක් ලබාගැනීම ලෙහෙසි පහසු කටයුත්තක් නොවේ. ජයග්‍රහණ පිපාසාවෙන් පෙලෙන රටකට මෙය විජයග්‍රහණයක් වන්නේ එහෙයිනි. මෙම ජයග්‍රහණයේ සැබෑ හිමිකරුවන් වන්නේ අනාගත පරපුරයි. සම්මාන ලබාදීමේදී ප්‍රමුඛ නිර්ණායකය වූ යහපත් පුරවැසියන්ගෙන් සමන්විත රටක් නිර්මාණය කිරීම මැතිවරණ කොමිසමට පමණක් තනිව කල හැක්කක් නොවේ. එය පුරවැසියන් වන අප සැමදෙනා සතු අත්හල නොහැකි වගකීමකි."