ක්‍රිකට් ලෝකයේ වැඩිම අවධානය දිනාගන්නා තරඟය වන ඉන්දු පකිස්ථාන තීරණාත්මක තරඟය ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට නියමිතයි.

ඒ, ලබන පෙබරවාරි 15 වනදායි. මෙම තරඟය පැවැත්වෙන්නේ 2026 පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියට අදාළවයි.

එම තරඟාවලි කාලසටහන ඊයේ එළිදැක්වුණා.

ඒ අනුව තරඟාවලියේ අවසන් මහා තරඟය සඳහා ක්‍රීඩාංගණ දෙකක් වෙන් කර තිබීම විශේෂත්වයක්.

ඒ, කොළඹ ආර් ප්‍රේමදාස සහ ඉන්දියාවේ අහමදාබාද්. එම ක්‍රීඩාංගණ අතරින් අවසන් මහා තරඟය පැවැත්වෙන ක්‍රීඩාංගණය තීරණය වන්නේ පකිස්ථානය ඊට සුදුසුකම් ලබනවාද නැද්ද යන සාධකය මතයි.

තරඟාවලියේ අවසන් පූර්ව තරඟ දෙක සඳහා මෙම තීරණය ගැනීමටයි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය තීරණය කර ඇත්තේ.

2026 පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලිය යටතේ ශ්‍රී ලංකාව තරඟ වදින්නේ ‘බී’ කාණ්ඩයෙන්.

ඕස්ටේ්‍රලියාව, අයර්ලන්තය, සිමිබාබ්වේ සහ ඕමානය එම කාණ්ඩයේ සෙසු රටවල් වනවා.