ලෝක ටෙස්ට් ශූරතාවලියේ තුන්වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට ඉන්දීය කණ්ඩායම සමත්වී තිබෙනවා. ඒ, එංගලන්තය සමග ඊයේ නිමාවට පත්වූ පස්වන සහ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරඟයෙන් ලකුණු 06ක තියුණු ජයක් ලබාගැනීමත් සමඟයි. මෙම තරඟයේ පළමු ඉනිමේදී ඉන්දීය කණ්ඩායම ලකුණු 224ක් රැස්කළ අතර දෙවන ඉනිමේදී ලකුණු 396ක් රැස්කළා. එංගලන්ත කණ්ඩායම පළමු ඉනිමේදී ලකුණු 247ක් රැස්කළ අතර ජයග්‍රහණය සඳහා දෙවන ඉනිමේදී ඔවුන්ට අවශ්‍ය වූයේ ලකුණු 374ක් පමණයි. එම ඉලක්කය හඹාගිය එංගලන්ත කණ්ඩායම එක් අවස්ථාවකදී කඩුලු 04කට ලකුණු 301ක් රැස්කර ගනිමින් ජයග්‍රහණය පෙනෙන මානයේ රැඳී සිටියා. කෙසේවෙතත් එංගලන්ත කණ්ඩායමේ අවසන් කඩුලු 06 ලකුණු 67ක් තුළ බිඳ දමමින් එංගලන්ත දෙවන ඉණිම ලකුණු 367කට සීමා කිරීමට ඉන්දීය පන්දු යවන්නන් සමත් වුණා. මොහොමඩ් සිරාජ් ලකුණු 104කට කඩුලු 05යි. ප්‍රසිද් ක්‍රිෂ්ණා ලකුණු 126කට කඩුලු 04ක් දවාගත්තා. ඒ අනුව තරඟයේ වීරයා සම්මානය හිමිවුණේ මොහොමඩ් සිරාජ්ටයි. මෙම ජයග්‍රහණයත් සමඟ දෙරට අතර පැවති ටෙස්ට් තරඟාවලිය දෙකට දෙකක් ලෙස සම මට්ටමින් නිමා කිරීමට ද ඉන්දීය කණ්ඩායම සමත් වුණා. ඒ අනුව එංගලන්තය අභිමවා ලෝක ටෙස්ට් ශූරතාවලියේ තුන්වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට ඉන්දියාව සමත්වී තිබෙනවා. ලෝක ටෙස්ට් ශූරතාවලියේ මෙතෙක් පැවති තරඟවලට අනුව පළමු ස්ථානයේ රැඳී සිටින්නේ ඔස්ටේ්‍රලියානු කණ්ඩායමයි. ශ්‍රී ලංකා කණ්ඩායම දෙවන ස්ථානයේ රැඳී සිටිනවා.