ඉන්දියාවේ "රාබා" ලෝක වාර්තා වැඩසටහනට (Raaba Book World Records) සහභාගී වූ ශ්‍රී ලාංකික තරුණයෙකු වූ ආර්.ඒ.විග්නේෂ්වරන් විදේශිකයන් තිදෙනකු තබා තිබූ ලෝක වාර්තා 03 ක් බිද දමා නව ලෝක වාර්තා පිහිටුවීමෙන් පසුව කටුනායක ගුවන් තොටුපොළ ඔස්සේ මෙරටට පැමිණ තිබෙනවා. .

මෙම ලෝක වාර්තා තැබීම ඉකුත් 10/10 වන දින සිට 10/14 දින දක්වා ඉන්දියාවේ චෙන්නායි නුවර දී ''රාබා'' ලෝක වාර්තා සංවිධානයේ අධීක්ෂණය යටතේ සිදු කර තිබුණා.

මෙහිදී ඕස්ට්‍රේලියානු ජාතිකයෙකු විසින් තබා තිබූ වාර්තාව බිද දමමින් කිලෝ ග්‍රෑම් 1,820 ක් බරැති මෝටර් රථයක් විනාඩි 45 යි තත්පර 07 ක් තුළ කිලෝ මීටර් 04 ක දුරක් නොනවත්වා ඇද ගෙන යමින් විග්නේෂ්වරන් පළමු ලෝක වාර්තාව 10/10 දින තබා තිබෙනවා.

ජපාන ජාතිකයෙකු විසින් තබා තිබූ වාර්තාවක් බිද දමමින් විග්නේෂ්වරන් විසින් සිය පපුව මත තබා කොන්ක්‍රීට් කුට්ටි 365 ක් විනාඩි 24 යි තත්පර 03 ක් තුළ කඩා දමමින් සිය දෙවන ලෝක වාර්තාව 10/12 දින තබා තිබෙනවා.

පිලිපීන ජාතිකයෙකු විසින් තබා තිබූ තවත් ලෝක වාර්තාවක් බිද දමමින් විග්නේෂ්වරන් 10/14 දින , පැය 24 ක කාළයක් නොනවත්වා නර්තනයෙහි යෙදෙමින් සිය තුන් වන ලෝක වාර්තාව ද තැබීමට සමත් වී තිබෙනවා.

විග්නේෂ්වරන් බගවන්තලාව වතු යායේ පදිංචිකරුවෙකු වන අතර ඔහුට මෙම ලෝක වාර්තා තැබීම සදහා ජර්මනියේ සිට ක්‍රියාත්මක වන "කිරිවලම්" නැමති සමාජ සත්කාරක ආයතනය විසින් අවශ්‍ය මුල්‍ය දායකත්වය ලබා දී තිබුණා.

මෙම ජයග්‍රහණයන් රැගත් විග්නේෂ්වරන් ඉන්දියාවේ චෙන්නායි නුවර සිට ඉන්ඩිගෝ ගුවන් සේවයේ 6 ඊ. -1173 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබෙනවා.

ඔහු පිළිගැනීම සදහා ඔහුගේ පවුලේ ඥාතීන් සහ "කිරිවලම් " සමාජ සත්කාරක ආයතනයේ ශ්‍රී ලංකාවේ නියෝජිතයන් පිරිසක් ද ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියා.