12 වන ලෝක ස්ට්‍රනේත් ලිෆ්ටින් ශූරතා තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වී පදක්කම් දිනාගත් හා ලෝක වාර්තා තැබූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් යළි දිවයිනට පැමිණ තිබෙනවා.

ඊයේ රාත්‍රී 10.10ට තායිලන්තයේ බැංකොක් නුවර සිට පැමිණි එයාර් ඒෂියා ගුවන් සේවයේ ගුවන් යානයකින් එම කණ්ඩායම කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි බවයි ගුවන්තොටුපොළ නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

එම තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම රන් පදක්කම් 05ක්, රිදී පදක්කම් 12ක් සහ ලෝකඩ පදක්කම් 09ක් වශයෙන් සමස්ථ තරගාවලියේ පදක්කම් 26ක් දිනාගත් අතර ලෝක වාර්තා 05ක් පිහිටු වීමට ද සමත් වුණා.

ලොව රටවල් 17ක ක්‍රීඩක ක්‍රීඩිකාවන් 480 දෙනෙකුගේ සහභාගීත්වයෙන් පසුගිය 16 වනදා සිට 19 වනදා දක්වා එම තරගාවලිය පැවැත්වුණේ තායිලන්තයේ පතායා නුවරදීයි.
මේ අතර තායිවානයේ පැවති “අයි.එෆ්.බී.බී. ප්‍රෝ ලීග්” කායවර්ධන ශූරතා තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වී එහි පස්වන ස්ථානය හිමිකරගත් හර්ෂ ඩී පීරිස් ද ඊයේ රාත්‍රියේ යළි දිවයිනට පැමිණ තිබෙනවා. එම තරගාවලියේදී ඔහු රන් පදක්කමක් සහ පස්වන ස්ථානය සඳහා ලබාදෙන පදක්කම් 02ක් දිනාගැනීමට සමත් වුණා. ලොව රටවල් 25ක තරගකරුවන් 1,300කගේ සහභාගීත්වයෙන් පසුගිය 18 වනදා සිට 20 වනදා දක්වා එම තරගාවලිය පැවැත්වුණේ තායිවානයේ තායිපේ නුවරදීයි.