වතු ජනතාවගේ දීර්ඝකාලීන ඉල්ලීමක් වූ රුපියල් 1,750ක දෛනික වැටුප් ඉල්ලීම දිනා දීමට කෙසේ හෝ මෙම වසර තුළ කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.
ජනාධිපතිවරයා මේ බව පැවසුවේ බණ්ඩාරවෙල මහජන ක්‍රීඩාංගණයේ පැවති මලයගම් ජනතාවට නිවාස හිමිකම්පත් ලබා දීමේ අවස්ථාවට අද පෙරවරුවේ එක් වෙමින්.
මෙරට ඉතිහාසයේ පළමු වතාවට පසුගිය මහ මැතිවරණයේදී තම ඥාතීන් සහ අසල්වැසියන් පාර්ලිමේන්තුවට තෝරා පත් කර ගනිමින්, මලයගම් ජන ප්‍රජාව තැබූ අපේක්ෂා කිසිවිටෙකත් බිඳ වැටීමට ඉඩ නොතබන බව මෙහිදී අවධාරණය කළ ජනාධිපතිවරයා එම විශ්වාසය තවදුරටත් ශක්තිමත් කරමින් ඔවුන්ට හිමි ආර්ථික මෙන්ම සමාජ ජිවිතයද දිනා දීමට රජය කැප වී කටයුතු කරන බවද පැවසුවා.
එහිදී එම ජනතාවගේ සෞඛ්‍ය අයිතීන් දිනා දීම, පිරිසිදු පානීය ජලය ලබා ගැනීමේ අයිතිවාසිකම තහවුරු කිරීම මෙන්ම දරුවන්ට හොඳ අධ්‍යාපනයක් ලබා දීම සහ වතුකරයේ මත්ද්‍රව්‍ය ජාවාරම මැඬලීම කෙරෙහිද රජය සුවිශේෂී අවධානය යොමු කර තිබෙන බවයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසුවේ.
මෙරට ජනතාවට වඩා යහපත් ආර්ථික සහ සමාජයීය ජීවිතයක් ලබා දීම වෙනුවෙන් ඉන්දියානු රජය දක්වන සහය වෙනුවෙන් ඉන්දියානු අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාට, එරට ජනතාවට සහ එම කාර්යය ශ්‍රී ලංකාව තුළ මෙහෙයවන ඉන්දියානු මහ කොමසාරිස්වරයාට ස්තුතිය පළ කිරීමටද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙහිදී කටයුතු කළා.
මෙම අවස්ථාවට එක්වූ වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා පැවසුවේ ඉතිහාසයේ වැඩිම නිවාස ප්‍රමාණයක් ලබා දීම එක් වසරක් තුළ ආරම්භ කරන්නේ මෙම වසරේදී බවයි.
නිවාස 2056ක් ප්‍රතිලාභීන්ට ලබා දීමේ වැඩසටහන ආරම්භ කරන බවයි ඔහු එහිදී කියා සිටියේ.

























