Published
තැපැල් සේවකයන් ආරම්භ කළ අඛණ්ඩ වැඩවර්ජනය මේ වනවි දිවයින පුරා ක්‍රියාත්මකයි. සිය වර්ජනය හේතුවෙන් මධ්‍යම තැපැල් හුවමාරුවේ පමණක් ලක්ෂ 10ක තැපැල් භාණ්ඩ ගොඩ ගැසී ඇති බවයි තැපැල් වෘත්තීය සමිති පවසන්නේ.
අතිකාල දීමනා ඇතුළු ඉල්ලීම් 19ක් මුල් කර ගනිමින් මධ්‍යම තැපැල් හුවමාරුවේ සේවකයන් ඊයේ පස්වරු 4 සිට පළමුව අඛණ්ඩ වැඩවර්ජනය ආරම්භ කළා. ඉන් අනතුරුව ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට දිවයින පුරා එම වැඩවර්ජනය ආරම්භ කළ බවයි තැපැල් වෘත්තිය සමිති පැවසුවේ. ඒ, සියළු තැපැල් සේවකයන්ගේ නිවාඩු අවලංගු කළ පසුබිමක් තුළයි. කෙසේවෙතත් සිය ගැටළුවලට විසදුම් ලැබෙන තෙක් තැපැල් සේවකයන් අඛණ්ඩ වැඩවර්ජනයේ නිරත වන බවයි ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ සම කැඳවුම්කරු චින්තක බණ්ඩාර මහතා පැවසුවේ. අඛණ්ඩ වැඩවර්ජනය හේතුවෙන් මේ වනවිට මධ්‍ය තැපැල් හුවමාරුවේ තැපැල් භාණ්ඩ ලක්ෂ 10 ක් පමණ ගොඩගැසී ඇති බව තැපැල් හා විදුලි සංදේශ නිලධාරීන්ගේ සංගමයේ සභාපති ජි ජී සී නිරෝෂණ මහතා පැවසුවා. කෙසේවෙතත් තැපැල්පති රුවන් සත්කුමාර මහතා පැවසුවේ 3,000 කට අධික උප තැපැල් කාර්යාලවල සේවකයන් වර්ජනයේ නිරත නොවන බවයි. යම් කඩාකප්පල්කාරී ක්‍රියා සිදුකරන සේවකයන්ට එරෙහිව අනිවාර්යයෙන්ම විනයානුකූල පියවර ගන්නා බවද තැපැල්පතිවරයා පැවසුවා. එමෙන්ම රාජකාරි සදහා වාර්තා කරන සේවකයන්ගේ ආරක්ෂාව වෙනුවෙන් අදාළ තැපැල් කාර්යාලවලට ආරක්ෂාව ලබාදෙන ලෙසටද පොලීසියට දැනුම්දී ඇති බවද තැපැල්පති රුවන් සත්කුමාර මහතා කියාසිටියා. මේ අතර අතිකාල ගැටළුවට විසදුම් ලබා තිබියදී තැපැල් සේවකයන් වර්ජනයේ නිරතවීම අසාධාරණ බවයි විෂයභාර අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසුවේ.