වවුනියාව, කුමාන්කුලම ප්‍රදේශයේදී ප්‍රදේශවාසීන් සහ පොලිස් නිලධාරින් අතර උණුසුම් තත්ත්වයක් හටගෙන තිබෙනවා.

ඒ, යතුරුපැදිකරුවෙකු අනතුරට ලක්ව මියයාමේ සිද්ධියක් මුල්කර ගනිමින්.

ප්‍රදේශවාසීන් චෝදනා කළේ වවුනියාව කුමාන්කුලම මත්පැන්හලක් ආසන්නයේදී රථවාහන පොලිස් නිලධාරීන් දෙදෙනෙකු විසින් අණ නොතකා ධාවනය කළ යතුරුපැදියක් ලුහුබැද ගොස් එය නතර කිරීමට උත්සාහ කර ඇති බවයි.

එහිදී යතුරුපැදිය පෙරලී එහි ගමන්ගත් පුද්ගලයා ජීවිතක්ෂයට පත්ව ඇති බවද ඔවුන් කියා සිටියා.

කෙසේවෙතත් පොලීසිය පවසන්නේ පුද්ගලයෙකු මාර්ගයේ වැටී ඇති බවට වෙනත් යතුරු පැදියකින් ගමන්ගත් පුද්ගලයෙකු විසින් රාජකාරියේ නිරතව සිටි අදාළ පොලිස් නිලධාරින් දෙදෙනාට දැනුම්දී ඇති බවයි.

ඒ අනුව එම පොලිස් නිලධාරින් දෙදෙනා අදාළ ස්ථානයට යන විටත් මාර්ගයේ වැටී ඇති පුද්ගලයා ජීවිතක්ෂයට පත්ව ඇති බවටයි පොලීසිය පැවසුවේ.

ඒත් සමග හටගත් නොසන්සුන්කාරී තත්ත්වය පාලනය කිරීම සඳහා තවත් පොලිස් නිලධාරින් කණ්ඩායමක් එම ස්ථානයට පැමිණ තිබුණා.

එහිදී ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය හමුවේ පොලිස් නිලධාරින් පස්දෙනෙකු තුවාල ලබා වවුනියාව රෝහලට ඇතුළත් කර තිබෙනවා.

පොලිසියේ ජීප් රථ ඇතුළු වාහන 06කට සහ යතුරුපැදි 02කට ද ප්‍රදේශවාසීන් විසින් හානි සිදුකර ඇති බවයි පොලීසිය පැවසුවේ.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් වවුනියාව පොලීසිය මගින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.