ලෝක දේශපාලනයේ තීරණාත්මක සාකච්ඡාවක් අද පැවැත්වෙනවා. ඒ, අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් අතරයි. මෙම සාකච්ඡාව පැවැත්වෙන්නේ යුක්‍රේන යුද්ධය සම්බන්ධයෙන්. ලෝකයම බලා සිටින මෙම තීරණාත්මක සාකච්ඡාව පැවැත්වෙන්නේ අමෙරිකාවේ ඇලස්කාහිදීයි. මෙලෙස අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් මුණගැසෙන්නේ වසර හයකට පසුවයි. යුක්‍රේන යුද්ධය සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කළද යුක්‍රේන ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කි ඊට සහභාගී කර නොගැනීම විශේෂත්වයක්. ඔහු නොමැති විට ගනු ලබන තීරණ අර්ථ විරහිත වනු ඇති බවට යුක්‍රේන ජනාධිපතිවරයා දැනටමත් පවසා තිබෙනවා. කෙසේවෙතත් රුසියාවේ විදේශ අමාත්‍යවරයා පවසා ඇත්තේ යුක්‍රේන යුද්ධය සම්බන්ධයෙන් සිය රටේ ස්ථාවරය පැහැදිලි බවයි. මෙම සාකච්ඡාව සඳහා සහභාගි වීමට අමෙරිකානු ජනාධිපතිවරයා මේ වන විටත් වොෂින්ටනයේ සිට ඇලස්කාව බලා ගුවන්ගත වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. රුසියාව විසින් යුක්‍රේනය ආක්‍රමණය කළේ 2022 දීයි.
Published