වසර 600කට පසු පළමු වරට කම්චැට්කාහි ක්‍රෂෙනිකොව් ගිනි කන්ද සක්‍රීය වී තිබෙනවා. රුසියාවේ කම්චැට්කා අර්ධද්වීපයට ආසන්න පැසිෆික් සාගරයේ සුනාමි තත්ත්වයක් ද ඇති කරමින් පසුගිය දා හටගත් රික්ටර් මාපකයේ ඒකක 8යි දශම 8ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයේ බලපෑම හේතුවෙන් මෙම ගිනි කන්ද සක්‍රිය වන්නට ඇති බවට විශේෂඥයින් මත පළ කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. එය අවසන් වරට සක්‍රීය වී ඇත්තේ මීට වසර 1450කට පමණ පෙරදීයි. රුසියාවේ හදිසි සේවා අමාත්‍යංශය පැවසුවේ ක්‍රෂෙනිකොව් ගිනි කන්ද පුපුරා යාමෙන් පසු මීටර් 6,000ක් දක්වා අළු දුමාරයක් ඉහළ ගොස් ඇති බවයි. මීටර් 1,856ක උසකින් පිහිටා ඇති මෙම ගිනි කන්ද යුනෙස්කෝ ලෝක උරුම අඩවියක් වන ක්‍රොනොට්ස්කි ස්වභාව රක්ෂිතය තුළ පිහිටා තිබෙනවා. ගිනි කන්දේ සිට නැගෙනහිර පැසිෆික් සාගරය දෙසට දුමාරය පැතිර ගොස් ඇති අතර එහි ගමන් මඟෙහි ජනාකීර්ණ ප්‍රදේශවල අළු වැටීමක් වාර්තා වී නොමැති බවයි රුසියාවේ හදිසි සේවා අමාත්‍යාංශය වැඩිදුරටත් පවසා ඇත්තේ.