දිට්වා සුළිකුණාටුව හේතුවෙන් සිදුවූ ව්‍යසනයෙන් පසු ජන ජීවිතය සහ රට යළි ගොඩනැගීමට ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය ගෙන යන වැඩපිළිවෙළ ප්‍රශංසනීය බවත්, ඊට සිය ආශිර්වාදය පළ කරන බවත් මල්වතු, අස්ගිරි පාර්ශවයන්හි නියෝජ්‍ය ලේඛකාධිකාරි හිමිවරුන් ජනාධිපතිවරයා හමුවේ අද ප්‍රකාශ කළා.

ශ්‍යාමෝපාලි වංශික මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී රාජකීය පණ්ඩිත දර්ශනපති පූජ්‍ය මහවෙල රතනපාල නායක ස්වාමීන් වහන්සේ, ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී, ඓතිහාසික බදුලු මුතියංගණ රාජමහා විහාරයේ භාරකාර, ආචාර්ය පූජ්‍ය මුරුද්දෙණියේ ශ්‍රී ධම්මරතන නායක හිමිපාණන් වහන්සේ සහ ඓතිහාසික මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ දියවඩන නිලමේ නිලංග දෑල මහතා අද පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු වූ අවස්ථෙව්දී මහා සංඝරත්නය මේ බව අවධාරණය කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ.

මහනුවර දිස්ත්‍රික්කයේ පීඩාවට පත් ජනතාවට සහන සැලසීමේ සහ යළි පදිංචි කිරීමේ කටයුතු පිළිබඳවද මෙහිදී සාකච්ඡාවට ලක්ව තිබෙනවා.

ජනතාව නැවත පදිංචි කිරීම් කටයුතුවලදී දළදා මාළිගාවෙන් ලබා දිය හැකි දායකත්වය පිළිබඳ මෙහිදී දියවඩන නිලමේවරයා විසින් ජනාධිපතිවරයාගේ අවධානයට යොමු කර තිබෙනවා.

ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාව විසින් රීබිල්ඩින් ශ්‍රී ලංකා අරමුදල වෙනුවෙන් මූල්‍ය පරිත්‍යාගයක්ද මෙහිදී පිරිනමනු ලැබුවා.

ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාද මෙම අවස්ථාවට එක්ව සිටි බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ.