ව්‍යාජ ලේඛන සකස් කළ සැකකරුවෙකු එම ලේඛන සමග කොච්චිකඩේ, දළුවකොටුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, පොලිස් විශේෂ කාර්ය බලකායේ සංවිධානාත්මක අපරාධ මර්දන ඒකකයේ නිලධාරීන් පිරිසක් විසින් ලද තොරතුරක් මත සිදු කළ වැටලීමකදීයි.

එහිදී ව්‍යාජ දේශීය හා විදේශීය ගමන් බලපත්‍ර, ව්‍යාජ රියදුරු බලපත්‍ර, ව්‍යාජ හැඳුනුම්පත්, විදෙස් රටවල ව්‍යාජ වීසා බලපත්‍ර, ලිපි ලේඛන සකස් කිරීමට යොදා ගන්නා උපකරණ, සහ රත්‍රං ආභරණ තොගයක් සොයා ගත් බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය පැවසුවේ.

සැකකරු සන්තකයේ තිබී රුපියල් දෙකෝටි හැට පන් ලක්ෂයක මුදලක්ද සිය භාරයට ගැනීමටයි එම නිලධාරීන් කටයුතු කර ඇත්තේ.

අත්අඩංගුවට ගත් සැකකරු 60 හැවිරිදි දළුවකොටුව, කොච්චිකඩේ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. සිද්ධිය සම්බන්ධ වැඩිදුර විමර්ශන අපරාධ පරික්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් සිදු කරනු ලබනවා.