මට්ටක්කුලිය ප්‍රදේශයේදී ව්‍යාපාරිකයෙකු ඝාතනය කිරීමට පැමිණි සැකකරුවන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, කොළඹ උතුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය මගින්. සැකකරුවන් සන්තකයේ තිබී රිවෝල්වරයක් සහ උණ්ඩ 06ක් ද සිය භාරයට ගත් බවයි පොලීසිය පැවසුවේ.

මේ අතර දෙහිවල, මුහුදු මාවත ප්‍රදේශයේ පිහිටි හෝටලයක හිමිකරු ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් සොයා පොලිස් කණ්ඩායම් පහක් විමර්ශන ආරම්භ කර තිබෙනවා.

කොට්ඨාස අපරාධ විමර්ශන අංශය, බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාසය සහ දෙහිවල පොලිස් ස්ථානය විසින් එලෙස විමර්ශන ආරම්භ කර ඇති බවයි පොලීසිය පැවසුවේ.

දෙහිවල පොලිස් ස්ථානයේ විමර්ශන සිදු කරන පොලිස් කණ්ඩායම් තුන විසින් මේ වනවිට පුද්ගලයින් 12 දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා.

අදාල හෝටල් හිමිකරු ඉලක්ක කරමින් එම වෙඩි තැබීම සිදුව තිබුණේ ඊයේ රාත්‍රියේදීයි.

යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු එම හෝටලයේ මත්පැන් පානය කර අදාල වෙඩි තැබීම සිදුකර පලාගොස් ඇති බවයි පොලීසිය පැවසුවේ.

වෙඩි තැබීමෙන් බරපතල තුවාල ලැබූ හෝටල් හිමිකරු කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත්වුණා.

එලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 55 හැවිරිදි වියේ පසුවූ කළුබෝවිල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

අපරාධ කල්ලි සාමාජිකයන් දෙපිරිසක් අතර ඇති වූ ගැටුමක ප්‍රතිඵලයක් ලෙස මෙම ඝාතනය සිදු කරන්නට ඇති බවටයි සැක පළ කරන්නේ.