ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවති පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරඟාවලිය දෙකට එකක් ලෙස ජය ගැනීමට සංචාරක බංග්ලාදේශ කණ්ඩායම ඊයේ රාත්‍රියේ සමත් වුණා.
ඒ, කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ පැවති තුන්වන සහ අවසන් තරඟය කඩුලු 08කින් ජය ගනිමින්.
බංග්ලාදේශ කණ්ඩායමක් ශ්‍රී ලංකාවට එරෙහිව ලැබූ පළමු තරඟාවලි ජය ලෙස මෙය වාර්තා අතරට එක් වුණා.
එමෙන්ම පන්දුවාර විස්ස තරඟාවලි දෙකක් ජයග්‍රහණය කළ පළමු බංග්ලාදේශ නායකයා බවටද ලිටන් දාස් පත්වුණා.
තරඟයේ කාසිය වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමට තීරණය කළා.
ශ්‍රී ලංකා පිළ ඊයේ තරඟයට එක්වූයේ අවිශ්ක ප්‍රනාන්දු සහ චාමික කරුණාරත්න වෙනුවට දිනේෂ් චන්දිමාල් සහ කමිඳු මෙන්ඩිස් එක්කර ගනිමින්.
කෙසේ වෙතත් ශ්‍රී ලංකා කණ්ඩායමේ මුල් කඩුලු 05 පන්දුවාර 11ක් තුළ ලකුණු 66කට බිඳ වැටුණා.
සාර්ථක වූ ක්‍රීඩකයින් ලෙස සටහන් වූයේ ලකුණු 46ක් ලැබූ පැතුම් නිස්සංක, නොදැවී ලකුණු 35ක් රැස් කළ දසුන් ශානක සහ ලකුණු 21ක් රැස් කළ කමිඳු මෙන්ඩිස් පමණයි.
වෙනත් කිසිදු ක්‍රීඩකයෙකුට ලකුණු 07 සීමාව පසුකර යාමට හැකි වුණේ නැහැ.
එක පෙළට කඩුලු බිඳ වැටෙද්දී එක් අන්තයක් ආරක්ෂා කරගෙන සිටි දසුන් ශානක අවසන් පන්දු වාරයේදී ලකුණු 20ක් රැස්කර ගනිමින් ශ්‍රී ලංකා පිළ බලාපොරොත්තු සහගත ලකුණු තත්ත්වයකට ඔසවා තැබුවා.
ඒ අනුව පන්දුවාර 20 නිමාවන විට ශ්‍රී ලංකා ලකුණු පුවරුව දැක්වුණේ කඩුලු 07කට ලකුණු 132ක් ලෙසයි.
ශ්‍රී ලංකා ඉනිම සුනු විසුනු කළ මෙම තරගයට කැඳවූ මෙහෙදි හසන් නියමිත පන්දුවාර 04 තුළ ලකුණු 11කට කඩුලු 04ක් බිඳ හෙලුවා.
බංග්ලාදේශ දඟ පන්දු යවන්නන් යැවූ පන්දුවාර 10ක් තුළ ශ්‍රී ලංකා පිළට රැස්කර ගත හැකි වුණේ ලකුණු 41ක් පමණයි.
ශ්‍රී ලංකා ඉනිමේ පන්දු 120න් පන්දු 52කටම ශ්‍රී ලංකා පිතිකරුවන්ට ලකුණු රැස්කර ගැනීමට නොහැකි වීමට විශේෂත්වයක්.
පිළිතුරු ඉනිම ඇරඹූ බංග්ලාදේශ කණ්ඩායමේ පළමු කඩුල්ල පළමු පන්දුවේදීම දවා ගැනීමට නුවන් තුෂාර සමත් වුණා.
එහෙත් ඉන් පසුව ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට සාර්ථක වීමට බංග්ලාදේශ පිතිකරුවන් කිසිදු ඉඩක් ලබා දුන්නේ නැහැ.
දක්ෂ පිති හරඹයක නිරත වූ ටන්සිඩ් හසන් හයේ පහර 06ක් සමග නොදැවී ලකුණු 73ක් රැස් කළා.
ලිටන් දාස් ලකුණු 32යි.
මෙම තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු රැකීම දුර්වල තත්ත්වය පැවති ආකාරය දැකගත හැකි වුණා.
ඒ අවසරෙයන් බංග්ලාදේශය තරඟය ජය ගත්තේ තවත් පන්දු 21ක් පවා ඉතිරිව තිබියදීයි.
ශ්‍රී ලංකා – බංග්ලාදේශ තුන්වන පන්දුවාර 20 ක්‍රිකට් තරඟය අවසානයේ නායක චරිත් අසලංක දැක්වූ අදහස් ක්‍රීඩා පුවත් තුළින් බලාපොරොත්තු වන්න.