දකුණු ආසියාවේ විශාලතම බදු වංචාව ලෙස සැලකෙන රුපියල් බිලියන 3.9 “වැට් බදු” මුදල් වංචාව සිදු කළ ව්‍යපාරිකයින් තුන්දෙනෙකුට බරපතල වැඩ සහිත වසර 20ක සිර දඬුවම් හා දඩ නියම කරමින් කොළඹ මහාධිකරණය විසින් ලබා දුන් තීන්දුව අනුමත කරමින් අභියාචනාධිකරණය විසින් දුන් තීන්දුව යළි සලකා බලන ලෙස ඉල්ලා එම විත්තිකාර අභියාචකයන් විසින් ඉදිරිපත් කර ඇති පෙත්සම පිළිබඳව නියෝගයක් ලබා දීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අභියාචනාධිකරණය වෙත අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා.
දඬුවම් නියම වූ විත්තිකරුවකු වූ මොහොමඩ් කුතුබ්දීන් විසින් ඉදිරිපත් කර තිබෙන අභියාචනා පෙත්සමට එරෙහිව නීතිපතිවරයා විසින් ඉදිරිපත් කළ විශේෂ පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණය මෙම නියෝගය නිකුත් කළා.
මෙම පෙත්සම අද සලකා බැලුනේ ජනක් ද සිල්වා, මහින්ද සමයවර්ධන, අර්ජුන ඔබේසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ.
පෙත්සම කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් ශනිල් කුලරත්න මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම පෙත්සම පවත්වාගෙන යාමේ හැකියාවක් නොමැති බැවින් එය පවත්වාගෙන යාම සම්බන්ධයෙන් තමා දැඩි ලෙස විරෝධය පළ කරන බව සඳහන් කළා.
වැට් බදු වංචා කිරීම සම්බන්ධයෙන් වරදකරුවන් වූ මෙම පෙත්සම්කරු ඇතුළු තිදෙනෙකු අභියාචනාධිකරණයට ගොනු කර තිබූ අභියාචනාවල තීන්දුව අභියාචනාදීකරණය විසින් දැනටමත් ප්‍රකාශයට පත්කර ඇති බවත් ඒ තුළින් විත්තිකරුවන්ට මහාධිකරණය විසින් පැනවූ දඬුවම අනුමත කර තිබෙන බවත් අතිරේක සොලිසිටර් ජනරාල් වරයා සඳහන් කර සිටියා.
එහෙත් අදාළ නඩු තීන්දුව නැවත සලකා බලන ලෙස ඉල්ලා මෙම විත්තිකාර අභියාචකයකු වන මොහොමඩ් කුතුබ්දීන් විසින් 2024 වසරේ ජූලි මස අභියාචනාධිකරණයට යලි පෙත්සමක් ගොනු කර ඇති අතර එම පෙත්සම සම්බන්ධයෙන් නියෝගයක් ලබා දීම අභියාචනාධිකරණය විසින් කල්තබා ඇති බවත් අතිරේක සොලිස්ටර් ජෙනරාල්වරයා පෙන්වා දුන්නා.
අභියාචනාදීකරණය හමුවේ අදාල පෙත්සම ගොනු කර තිබෙන විත්තිකරු මහාධිකරණ නඩු විභාගය මගහැර රටින් පලා ගොස් සිටි අයෙකු බවත් ඔහුට මෙම තීන්දුව යළි සලකා බලන ලෙස ඉල්ලීමක් ඉදිරිපත් කිරීමට කිසිදු නීතිමය හැකියාවක් නොමැති බවත් අතිරේක සොලිසිටර් ජෙනරාල් වරයා තර්ක කලා.
එබැවින් විත්තිකරු විසින් අභියාචනාදීකරණය හමුවේ ගොනුකර තිබෙන පෙත්සම නිෂ්ප්‍රභ කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටියා.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අතර පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල අනතුරුව මෙම අතුරු තහනම් නියෝගය නිකුත් කළා.
2002 වසරේ නොවැම්බර් මස 15 වනදා සහ 2004 වසරේ දෙසැම්බර් මස 15 වනදා අතර කාලසීමාව තුළ දකුණු ආසියාවේ විශාලතම බදු වංචාව ලෙස සැලකෙන දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට අයවිය යුතු රුපියල් බිලියන 3.9 වැට් බදු මුදල් වංචා කිරීම සම්බන්ධයෙන් විත්තිකරුවන් තුන්දෙනෙකුට එරෙහිව කොළඹ මහාධිකරණය විසින් බරපතල වැඩ සහිත වසර 20 බැගින් දඬුවම් හා දඩ මුදල් නියම කර තිබුණා.
මෙසේ දඬුවම් නියම වූ විත්තිකරුවන් තුන්දෙනාම අධිකරණය මගහැර පළා ගොස් සිටි අතර පසුව ඔවුන් එම දඬුවමට එරෙහිව අභියාචනාධිකරණයට
අභියාචනා පෙත්සම් ඉදිරිපත් කළත් අභියාචනාධිකරණය ඒවා ප්‍රතික්ෂේප කර මහාධිකරණය විසින් පැනවූ දඬුවම තහවුරු කර තිබුණා.