කොළඹ මහනගර සභාවේ බහුතර බලය ලබා ගැනීමට අවශ්‍ය සභික ධුර සංඛ්‍යාව තම පක්ෂය සතුව පවතින බව ජාතික ජන බලවේගය පවසනවා.

එම පක්සයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දේවානන්ද සුරවීර මහතා පැවසුවේ නගරාධිපතිවරයා පත් කිරීමට අවශ්‍ය සියලු සැලසුම් මේ වන විට අවසන් බවයි.

විපක්ෂය විසින් කොළඹ මහනගර සභාවේ බලය ලබා ගැනීමට දරන උත්සහය අද දිනයේ අසාර්ථක වන බවත් ජනතාව රජයට දුන් බලය අනුව ස්ථිර වශයෙන්ම කොළඹ නගර සභාවේ බලය ජාතික ජන බලවේගය සතු වන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

කෙසේවෙතත් සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පැවසුවේ කොළඹ මහනගර සභාවේ බලය තහවුරු කර ගැනීම සඳහා සමගි ජන බලවේගය ඇතුළු ඒකාබද්ධ විපක්ෂය මේ වන විටත් අවශ්‍ය සැලසුම් සකස් කර අවසන් බවයි.

සමගි ජන බලවේගය ඇතුළු ඒකාබද්ධ විපක්ෂයට මන්ත්‍රීවරු 60කගේ සහයෝගය ලැබෙන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

මේ අතර පළාත් පාලන ආයතනවල නගරාධිපතිවරු පත්කිරීමේදී පවතින නීති ක්‍රමවේදයන් සම්බන්ධයෙන් පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්‍ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා මෙලෙස කරුණු පැහැදිලි කිරීමක් සිදු කළා.