අනුරාධපුර බන්ධනාගාරයේ රඳවා සිටි රැඳවියකු ජනාධිපති සමාවට පටහැනිව නිදහස් කිරීමේ සිද්ධියට ආධාර අනුබල දුන්නේ යැයි සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්දනාගාර ගත කර සිටින, වැඩ තහනමට ලක්ව සිටින බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙනිය මහතා ජූලි මස 09 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද නියම කළා.
මෙම සිද්ධියට අදාළ විමර්ශන අවසන් කොට එදින අධිකරණයට කරුණු වාර්තා කිරීමට පියවර ගන්නා ලෙසයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි ජයතුංග මහත්මිය විසින් පැමිණිලි පාර්ශවයට එහිදී නියෝග කළේ.
එමෙන්ම මෙම සැකකරු මේවන විට රඳවා සිටින බන්ධනාගාරයෙන් වෙනත් බන්ධනාගාරයකට මාරු කරන ලෙස පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් සුහර්ෂි හේරත් මහත්මිය කළ ඉල්ලීමකටද ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය විසින් අවසර ලබා දුන්නා.
මෙම පැමිණිල්ල අද කැඳවූ අවස්ථාවේදී විමර්ශන සිදු කරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් සුහර්ෂි හේරත් මහත්මිය අධිකරණය හමුවේ කරුණු දක්වමින්, වෙසක් පොහෝ දින ජනාධිපති සමාව යටතේ නිදහස් කෙරුණු අතුල තිලකරත්න නමැති පුද්ගලයා සම්බන්ධයෙන් ජාතික පුවත් පතක පළ කර තිබූ මාධ්‍ය වාර්තාවක් පිළිබඳව මෙම සැකකරු අධිකරණ අමාත්‍යංශයේ ලේකම්වරියට ලිපියක් යවා තිබූ බව සඳහන් කළා.
“ස්වාමීනී… මේ සැකකරු විසින් ජුනි මස 6 වනදා අධිකරණ අමාත්‍යාංශයේ ලේකම්ට යැවූ ලිපිය සමඟ අනුරාධපුර බන්ධනාගාර අධිකාරිවරයා විසින් එවූ බව කියන ලිපියකුත් යවා තිබෙනවා.
අනුරාධපුර බන්ධනාගාරයෙන් ලැබුණු ලිපිය සම්බන්ධයෙන් අපට විශාල සැකයක් තිබෙනවා. මොකද මේ අනුරාධපුර ලිපිය එවපු දිනය පිළිබඳ මුද්‍රාවක් නැහැ.
ලැබුණු දිනය පිළිබඳ මුද්‍රාවකුත් නෑ.
එම ලිපියේ ලිපි ගොනු අංකය සඳහන් වන්නේත් නැහැ.
රාජ්‍ය ආයතනයකට මේ ආකරයෙන් ලිපි යවන්න හැකියාවක් නැහැ ස්වාමීනි… ඒ නිසා අපට විශාල සැකයක් තිබෙනවා මේ සැකකරු තමන්ගේ ස්ථාවරය සාධාරණීකරණය කිරීම සඳහා මෙම ලිපිය සකස් කරන්නට ඇති බවට.
මොකද රාජ්‍ය ආයතනයක උසස් නිලධාරියෙකුට මේ ආකාරයෙන් ලිපි යවන්න හැකියාවක් නැහැ. ඒ නිසා මේ ලිපිය සැක සහිතයි.”යනුවෙන් සඳහන් කළා.
වැඩිදුරටත් කරුණු දැක්වූ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් වරිය
“ජනාධිපති සමාවට මුවාවී නිදහස්ව ගිය පුද්ගලයින් පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන සිදු කරනවා. ලැයිස්තුවලට පිටින් නිදහස්ව ගිය පුද්ගලයින් ගැනත් මේ විමර්ශනවලදී කරුණු අනාවරණය වෙලා තිබෙනවා.
මොහු බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා. මොහුට බොහෝ දේවල් කරන්න පුළුවන්. ඒ නිසා නීති විරෝධී ආකාරයට පුද්ගලයින් නිදහස් කරවීම පිළිබඳව විමර්ශන සිදුකරන අවස්ථාවක, ඔහුට ඉදිරියේදීත් අප ඉහත සඳහන් කළ ආකාරයේ ලිපි නිර්මාණය කිරීමට හැකියාව තිබෙනවා. ඒක විමර්ශන වලට බාධාවක්.
පොලිසිය මේ සැකකරු අත්අඩංගුවට ගත්තේ සාධාරණ කරුණු අනාවරණය වීමෙන් පසුවයි.
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු යසන්ත කෝදාගොඩ මහතා ලබා දුන් තීන්දුවක සඳහන් වෙනවා විශ්වාසදායී තොරතුරු තිබෙනවානම් අත්අඩංගුවට ගන්න පුළුවන් කියලා.
නමුත් මෙම සිද්ධියේදී විශ්වාසදායක තොරතුරකට වඩා ඔබ්බට ගිය කරුණු අප සොයගෙන තිබෙනවා.
ඒ අනුව ඉදිරි විමර්ශන වලට කාලය ලබා දෙමින් මෙම සැකකරුගේ රිමාන්ඩ් කාලය දීර්ඝ කරන ලෙස මා අධිකරණයෙන් ඉල්ලා සිටිනවා.”
යනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය වැඩිදුරටත් අධිකරණයෙන් ඉල්ලා සිටියාය.
වැඩිදුරටත් කරුණු දැක්වූ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය
“ස්වාමීනි අද මේ සැකකරු වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න මහතා නීතිපති දෙපාර්තමේන්තුවේ සේවය කරද්දී පෙනී සිටියා හිටපු අමාත්‍යවරයකු වන මෙල්රෝයි ප්‍රනාන්දු නැමැත්තාගේ බිරිඳ විසින් සිදුකළ මිනීමැරුමකට අදාල නඩුවකට.
එම නඩුවේදී විත්තිකාරිය මරණීය දණ්ඩනය ලැබුවා.
මේ තැනැත්තියත් පසුව ලැයිස්තුවට පිටින් ජනාධිපති සමාව ලබා නිදහස්ව තිබෙන බව හෙලිවෙලා තිබෙනවා.
පොදු සමාව යටතේ මිනීමැරුම් චෝදනා ලැබු අය නිදහස් කරන්න බැහැ.
එහෙත් එහෙම නිදහස් වෙලා තිබෙනවා.” යනුවෙන් සඳහන් කර සිටියා.
ඉන් අනතුරුව සැකකාර තුෂාර උපූල්දෙනිය මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න මහතා අධිකරණය හමුවේ කරුණු දැක්වුවා.
“ ස්වාමීනී…. පසුගිය නඩු දිනයේ පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා සඳහන් කළා ඉදිරි සති දෙක තුළ අධිකරණය මවිතවයට පත්වන ආකාරයේ තොරතුරු අධිකරණයට ඉදිරිපත් කරන බවට.
ඒ වගේම අනුරාධපුරයෙන් නිදහස් වූ තිලකරත්න ඇමති පුද්ගලයා විදේශගත වී ඇති බවටත් ඔහු පැවසුවා.
නමුත් අද උසාවිය විමතියට පත්වන කිසිම තොරතුරක් පැමිණිල්ල ඉදිරිපත් කළ නෑ.
තිලකරත්න නමැති පුද්ගලයා අනුරාධපුර උසාවියේ අත උස්සලා කියනවා තමන් තවම ඉන්නවා කියලා.
ස්වාමීනී යම් පුද්ගලයෙක්ව නීති විරෝධී ආකාරයට නිදහස් කරලා තිබෙනවා නම් එක දෙයයි කළ යුත්තේ.
ඔහු අත්අඩංගුවට ගෙන බන්ධනාගාර ගත කළ යුතුයි. නමුත් එවැනි පියවරක් තවම අරගෙන නැහැ.” යනුවෙන් සඳහන් කළා.
වැඩිදුරටත් කරුණු දැක්වූ ජනාධිපති නීතිඥවරයා“ මෙතන කිසිම අපරාධමය වරදක් සිදු වෙලා නැහැ.
අධිකරණ අමාත්‍යංශයෙන් බන්ධනාගාර දෙපාර්තමේන්තුවට ලිපියක් ලැබෙනවා පසුගිය මැයි මස 05 වන දා වන විට පොදු සමාව යටතේ නිදහස් කළ හැකි රඳවියන්ගේ ලැයිස්තුවක් එවන්න කියලා.
නිදහස් කිරීම සිදුවන්නේ මැයි මස 12 වනදා.
ඒ අතරතුර මැයි මස 05 වනදා සහ 12 වනදා කාලයේ තවත් පිරිසක් නිදහස්වීම සඳහා සුදුසුකම් ලබනවා. ඒ පිරිසත් නිදහස් කිරීම සිදු කරනවා.
ඒක තමයි සාමාන්‍ය ක්‍රමය. සෑම වසරකම කලින් තෝරගන්න පිරිසට වඩා වැඩි පිරිසක් නිදහස් වෙනවා.
ඒවා සිදු වන්නේ ජනාධිපතිවරයා එවන නිර්ණායක අනුවයි.
පසුගිය අප්‍රේල් මස 30 වනදා අධිකරණ අමාත්‍යාංශයේ අතිරේක ලේකම් පියුමන්ති පිරිස් විසින් මගේ සේවා දායකයාට ලිපියක් එවනවා ලැයිස්තුවෙන් පිට කිසිවකු නිදහස් කරන්න එපා කියලා. පසුව ඔහු මේ අතිරේක ලේකම් වරියට දීර්ඝ ලෙස කරුණු පැහැදිලි කරනවා.
පසුව මේ ලිපිය ඉවත් කරගෙන තිබෙනවා.
සෑම වසරකම ලැයිස්තුවලට සඳහන් ප්‍රමාණයට වඩා වැඩි රැදවියන් පිරිසක් නිදහස් වෙනවා.
බන්ධනාගාර පනතේ 47 වන වගන්තිය යටතේ නිදහස් කරන පුද්ගලයින් සම්බන්ධයෙන් තීරණය ගත හැක්කේ අදාළ බන්ධනාගාරයේ ජේලර් වරයාට පමණයි.
මගේ සේවා දායකයාට ඒ සම්බන්ධයෙන් මැදිහත් වෙන්න බෑ. මීට පෙර සිටි බන්ධනාගාර කොමසාරිස්වරු කටයුතු කරලා තිබෙන්නේ මේ ආකාරයටම තමයි” යනුවෙන් පැවසුවා.
අනුරාධපුර බන්ධනාගාරයෙන් නිදහස් වූ අතුල තිලකරන්න නමැති පුද්ගලයා පොදු සමාව යටතේ නිදහස් කිරීම නිත්‍යානුකූල බවත් ජනාධිපති නීතිඥවරයා මෙහිදී පෙන්වා දුන්නා.
“ස්වාමීනී… අතුල තිලකරත්න නමැති පුද්ගලයාට වසර දෙකක බරපතල සිර දඬුවමක් නියම කර එය වසර පහකට අත්හිටුවනවා.
ඉන් පසුව රුපියල් මිලියන දෙකක දඩයක් නියම වෙනවා.
දඩ නොගෙව්වොත් මාස හයක ලිහිල් සිර දඬුවමක් නියම වන බවත් නියෝගයේ සඳහන් වෙනවා.
නමුත් මේ පුද්ගලයා මැයි 05 වනදා වන විට නිදහස් වීමට සුදුසුකම් ලබන්නේ නෑ.
මොකද ඔහු වෙනත් නඩු දෙකකට රිමාන්ඩ් භාරයේ සිටි නිසා. නමුත් පසුව ඔහුට ඇප ලැබෙනවා.
ඒ නිසයි ඔහු මැයි මස 14 වනදා නිදහස් වන්නේ.” යනුවෙන් සඳහන් කර සිටියා.
වැඩි දුරටත් කරුණු දැක්වූ ජනාධිපති නීතිඥවරයා“ස්වාමීනි මගේ සේවා දායකයා අපරාධමය වරදක් කළ බවට කිසිම සාක්ෂියක් උද්ගත වෙන්නේ නැහැ.
අධිකරණ අමාත්‍යාංශය කළ නුහුරු නුපුරුදු ක්‍රියාවක් නිසයි මේ ප්‍රශ්නය මතු වුණේ.
මේ විදියට රාජ්‍ය පරිපාලනය කරන්න බැහැ.
සමාජ මාධ්‍ය බලපෑම් වලට යට වෙලා තීරණ ගන්ඩ බැහැ.
මින් පසුව කිසිම රාජ්‍ය නිලධාරියෙක් අනුරාධපුර ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකුට සහනයක් ලබා දෙන්න බය වේවි.
මොකද ඒ තුළින් ප්‍රශ්නයක් මතුවුනොත් ජනාධිපතිතුමා දිලීප පීරිස් මහත්තයාට කියයි කුදල ගෙන ඇවිල්ලා රිමාන්ඩ් කරන්න කියලා.
රාජ්‍ය පරිපාලනය කරගන්න බැරි වුණාම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හරහා ඒ ප්‍රශ්න විසඳගන්න හදනවා.
මෙහෙම කරන්න ගියොත් අපරාධ පරීක්ෂණ අමාත්‍යාංශයකුත් පිහිටවන්න වෙයි.”යනුවෙන් සඳහන් කළා.
දෙපාර්ශවය විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය අනතුරුව මෙම නියෝග නිකුත් කළා.