ගංවතුරින් පීඩාවට පත් කොළඹ දිස්ත්‍රික්කයේ ජනතාවට බෙදාදීම සඳහා වැලිකඩ බන්ධනාගාරයේ සිර දඬුවම් නියමව සිටින පිරිමි හා කාන්තා රැඳවියන් දිවා ආහාරය සඳහා යොදා‌ ගන්නා වියළි ආහාර ද්‍රව්‍ය පරිත්‍යාග කිරීමට පියවර ගෙන තිබෙනවා.

එම වියළි ආහාර ද්‍රව්‍ය වැලිකඩ බන්ධනාගාරයේ ජ්‍යෙෂ්ඨ බන්ධනාගාර අධිකාරී, රජිව් එස්. සිල්වා මහතා ඇතුළු බන්ධනාගාර නිලධාරීන් සහ රැඳවියන් විසින් කොළඹ මහ නගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති හේමන්ත කුමාර මහතා වෙත භාරදීම අද පෙරවරුවේ කොළඹ වැලිකඩ බන්ධනාගාර පරිශ්‍රයේදී සිදු විය.

වැලිකඩ බන්ධනාගාරයේ පිරිමි සහ කාන්තා අංශයේ රැඳවියන් 3874 දෙනෙකු විසින් බන්ධනාගාර පාලනාධිකාරියෙන් කරන ලද ඉල්ලීමකට අනුව ඔවුන්ගේ දිවා ආහාරය පීඩාවට පත් ජනතාවට පරිත්‍යාග කිරීම සිදු විණි.

නාඩු සහල් 750 kg ක්, පොල් ක්‍රිම් පැකට් 50 ක්, කඩල 100 kg ක්, කව්පි 100 kg ක්, මුං ඇට 10 kg ක්, සෝයා මීට් 60 kg ක්, සීනී 100 kg ක්, තේ කොළ 10 kg ක්, මිරිස් කුඩු 10 kg ක්, දිය ලුනු 30 kg ක් සහ මයිසුර් පරිප්පු 100 kg ක් පරිත්‍යාග කිරීමට කටයුතු කර ඇත.

කොළඹ මහ නගර සභාවේ මන්ත්‍රිවරුන්, බන්ධනාගාර නිලධාරීන් සහ වැලිකඩ බන්ධනාගාරයේ සිර දඬුවම් නියමව සිටින පිරිමි හා කාන්තා රැඳවියන් මෙම අවස්ථාවට එක්ව සිටියහ.