රක්ෂිත බන්ධනාගාර ගත කළ හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා වැලිකඩ බන්ධනාගාර රෝහලට මාරු කර තිබෙනවා. ඒ, වෛද්‍ය සායනයක් සඳහායි. ඔහු කලක සිට රෝගි තත්ත්ව කිහිපයකින් පෙලෙන බවයි බන්ධනාගාර ආරංචි පැවසුවේ. ඒ අනුව ඔහු කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ සිට වැලිකඩ බන්ධනාගාර රෝහලට රැගෙන ගොස් තිබෙනවා. එහිදී හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා විශේෂ වෛද්‍යවරයකු වෙත යොමු කළ බවයි බන්ධනාගාර ආරංචි පැවසුවේ. කෙසේ වෙතත් ඔහුට අවශ්‍ය වෛද්‍ය උපදෙස් සහ වෛද්‍ය පරීක්ෂාවකට යොමු කිරීමෙන් පසු යළිත් කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරය වෙත මාරු කර තිබෙනවා. ඔහු ද බන්ධනාගාර නිලධාරීන්ට පවසා ඇත්තේ තමන්ට වැලිකඩ බන්ධනාගාර රෝහලේ නතර වීමට බැරි බවයි. කඩිනමින් තමන් කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයට රැගෙන යන ලෙසත් ඔහු බන්ධනාගාර නිලධාරීන්ට පවසා ඇති බවයි වාර්තා වුණේ. ඒ අනුව හිටපු අමාත්‍යවරයා එම බන්ධනාගාරයේ “එන්” වාට්ටුවේ යළි රැඳවූ බවයි බන්ධනාගාර ආරංචි පැවසුවේ. ඔහු සමග එම බන්ධනාගාරයේ තවත් රැඳවියන් කිහිප දෙනෙකු සමඟ රඳවා සිටිනවා. එම රැඳවියන් සියලු දෙනා විවිධ චෝදනා යටතේ රක්ෂිත බන්ධනාගාරගත කළ රාජ්‍ය සේවකයන් වනවා. ඊට අමතරව රක්ෂිත බන්ධනාගාරගත පොලිස් නිලධාරීන් කිහිපදෙනෙකු ද “එන්” වාට්ටුවේ රඳවා සිටිනවා. හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඉකුත්දා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 09 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. මේ අතර ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා සැකකාර රාජිත සේනාරත්න මහතා අද පෙරවරු 09.00ට අල්ලස් කොමිසම හමුවට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙසයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක. එස්. බෝදරගම මහතා ඉකුත්දා බන්ධනාගාර නිලධාරීන්ට නියම කළේ. කොළඹ මහාධිකරණයේ නියෝග මත රිමාන්ඩ් භාරයට ගන්නා ලද සැකකාර රාජිත සේනාරත්න මහතාව මෙම නඩුකරය කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පසුගියදා කැඳවූ අවස්ථාවේදී බන්ධනාගාර නිලධාරීන් විසින් අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබුණා. එහිදී අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි එහි සහකාර අධ්‍යක්ෂ ජනරාල් සුලෝචනා හෙට්ටිආරච්චි මහත්මිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් පැවසුවේ මෙම සැකකරු ධීවර අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ අවදියේ 2013 වසරේ ලැබුණු නිර්ණාමික පැමිණිල්ලකට අනුව මෙම විමර්ශනය ආරම්භ කළ බවයි. කිරින්ද ධීවර වරායේ වැලි ඉවත් කර ඒවා පිරිසිදු කර වෙළඳපොළට නිකුත් කිරීමේ ව්‍යාපෘතියක් කොරියානු “සී වූ” සමාගම වෙත පැවරීමට මෙම සැකකරු කටයුතු කර තිබූ බව එම පැමිණිල්ලේ සඳහන් කර තිබු බව සහකාර අධ්‍යක්ෂ ජෙනරාල්වරිය පැවසුවා. අධිකරණ නියෝග මත අද දින අල්ලස් කොමිසම හමුවට ඔහු ඉදිරිපත් කරන බවයි බන්ධනාගාර ආරංචි පැවසුවේ. මේ අතර යළි රක්ෂිත බන්ධනාගාරගත කළ හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතාද කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ “එම්-ටූ” වාට්ටුවේ රඳවා සිටිනවා. ඒ, තවත් රැඳවියන් පිරිසක සමගින්. මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ඇතුළු විවිධ චෝදනා යටතේ රක්ෂිත බන්ධනාගාරගත කළ රැඳවියන් පිරිසක් සමග එලෙස හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා රඳවා සිටින බවයි බන්ධනාගාර ආරංචි වැඩිදුරටත් පැවසුවේ. රක්ෂිත බන්ධනාගාර ගත කළ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියෙ රතන හිමියන් ද කොළඹ මැගසින් බන්ධනාගාරයෙ රඳවා සිටිනවා. රක්ෂිත බන්ධනාගාර ගත කළ හිටපු රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්ස රඳවා සිටින්නේ මීගමුව බන්ධනාගාරයෙ බවයි බන්ධනාගාර ආරංචි වැඩිදුරටත් පැවසුවේ.
Published