උතුරු, උතුරුමැද, නැගෙනහිර, මධ්‍යම සහ ඌව පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

උතුරු සහ නැගෙනහිර පළාත්වලත්, පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලත් මිලි මීටර් 75ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බවයි ඉදිරි පැය 36 සඳහා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද පස්වරුවේ නිකුත් කළ කාලගුණ අනාවැකියේ සඳහන් වන්නේ.

දිවයිනේ සෙසු ප්‍රදේශවලට පස්වරු කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි අතර ඇතැම් ස්ථානවලට මිලි මීටර් 50ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ අනාවැකියේ දැක්වෙනවා.

මේ අතර, ඊසාන දිග මෝසම් කාලගුණ තත්ත්වය ස්ථාපිත වෙමින් පවතින බැවින් ඉදිරි දින කිහිපයේදී වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්‍ෂා කළ හැකි බව ජාතික කාලගුණ විද්‍යා මධ්‍යස්ථානයේ ප්‍රධාන කාලගුණ විද්‍යාඥ චන්න රොද්‍රිගු මහතා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අද පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියා.

දිවයිනේ ගංගා සහ ජලාශවල පවතින තත්ත්වය සම්බන්ධයෙන් වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා හා ආපදා කළමනාකරණ අධ්‍යක්‍ෂ ඉංජිනේරු එල් එස් සූරියබණ්ඩාර මහතා එහිදි කරුණු දැක්වූයේ මෙලෙසයි.

ඉදිරියේදී වැසි ඇතිවිය හැකි බැවින් අනතුරුදායක ස්ථානවල සිටින ජනතාව ඒ සම්බන්ධයෙන් විමසිලිමත් විය යුතු බවයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පෙන්වා දෙන්නේ. ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වූ එම ආයතනයේ ජ්‍යේෂ්ඨ භූ විද්‍යාඥ ආචාර්ය වසන්ත සේනාධීර මහතා.