ශ්‍රී ලංකාවේ උතුරු වෙරළ ආසන්නයේ පවතින අඩු පීඩන කලාපය වයඹ දෙසට ගමන් කර උතුරු තමිල්නාඩු වෙරළ තීරය හරහා ගමන් කෙරෙනු ඇතැයි අපේක්ෂා කෙරෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ඉදිරි පැය 36 සඳහා අද පස්වරු 04.00 නිකුත් කෙරුණු කාලගුණ අනාවැකියේ දැක්වෙන්නේ බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි.

එම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මිලි මීටර් 75ක පමණ තරමක තද වැසි ඇතිවිය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා. ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දැක්වූ කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ සචින්තා ජයසේකර.

දිවයින වටා වන මුහුදු ප්‍රදේශ ආශ්‍රිත කාලගුණ තත්ත්වය සම්බන්ධයෙන් ද කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ සචින්තා ජයසේකර කරුණු දැක්වූවා.

පවතින වැසි සහ ආපදා හේතුවෙන් පවුල් 2,609ක පුද්ගලයින් 10,553 දෙනෙකු පීඩාවට පත්ව සිටින බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා පැවසුවේ.

මේ අතර පවතින වැසි සහිත කාලගුණ තත්ත්වයෙන් දිවයිනේ දිස්ත්‍රික්ක 11කට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය මගින් නිකුත් කර ඇති නාය යෑම් පිළිබඳ අවදානම් නිවේදන හෙට පස්වරු 04.00 දක්වා දීර්ඝ කර තිබෙනවා.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා ඒ සම්බන්ධයෙන් ද කරුණු දැක්වූවා.