රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන විදුලිබල පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා මේ වන විට ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සම් හතක් ගොනු කර තිබෙනවා.

ඒ, ලංකා විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය, පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව, ශ්‍රී ලංකා හරිත සංවිධානය ඇතුළු පාර්ශව හතක් විසින්.

මෙම පෙත්සම් අද ඒ එච් එම් ඩී නවාස්, කුමුදුනි වික්‍රමසිංහ සහ ශිරාන් ගුණරත්න යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැඳවනු ලැබුවා.

එහිදී විනිසුරු මඩුල්ල නියම කළේ මෙම පෙත්සම් පිළිබඳ විභාගය ලබන 11 වන දා ආරම්භ කරන බවයි.

එදින මෙම පෙත්සම් ඒ එච් එම් ඩී නවාස්, අර්ජුන ඔබේසේකර සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ විභාගයට ගැනීමට නියමිතයි.

මෙම පෙත්සම්වලින් සඳහන් කර තිබෙන්නේ යෝජිත පනත් කෙටුම්පත තුළින් ලංකා විදුලි බල මණ්ඩලය පෞද්ගලීකරණය කිරීමට යෝජනා කර ඇති බවයි.

තවද සේවකයින්ට වන්දි ගෙවා ඔවුන්ගේ සේවය අවසන් කිරීම සම්බන්ධයෙන්ද පැහැදිලි විධානයක් මෙම පනත් කෙටුම්පතේ සඳහන් වී නොමැති බවත් පෙත්සම්වලින් චෝදනා කර තිබෙනවා.

එමෙන්ම අදාළ පනත් කෙටුම්පතේ අන්තර්ගත ඇතැම් වගන්තිවලින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් සහතික කර තිබෙන මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වීමක් සිදුවන බවත් පෙත්සම්කරුවන් පෙන්වා දී තිබෙනවා.

ඒ අනුව අදාළ පනත් කෙටුම්පත සම්මත කිරීමට අවශ්‍ය නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ඡන්දයකින් අනුමත වී ජනමත විචාරණයකින් අනුමත විය යුතු බවට තීන්දුවක් ලබා දෙන ලෙසයි පෙත්සම්කරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා ඇත්තේ.