රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන යෝජිත විදුලි බල සංශෝධන පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවත් ඒවා සම්මත කරන්නේ නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ඡන්දයකින් සම්මත වී ජනමත විචාරණයකින්ද සම්මත විය යුතු බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා විදුලි බල ඉංජිනේරු සංගමය ඇතුළු පාර්ශව හතක් විසින් ඉදිරිපත් කළ පෙත්සම් අද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාග කිරීම ආරම්භ වුණා.
ඒ.එච්.එම්.ඩී.නවාස්, අර්ජුන ඔබේසේකර සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගේ සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ මෙම පෙත්සම් විභාගය සිදු කෙරෙනවා.
මෙම පෙත්සම් විභාගයට ගත් අවස්ථාවේදී පෙත්සමක් ඉදිරිපත් කර තිබූ විදුලි බල මණ්ඩල ඉංජිනේරු සංගමය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ උදිත ඉගලහේවා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් යෝජිත පනත් කෙටුම්පත තුළින් විදුලි බල මණ්ඩලය සමාගමක් බවට පත්වන බවට පැහැදිලිව දක්වා ඇතැයි කියා සිටියා.
එහි කොටස් භාණ්ඩාගාර ලේකම්වරයා යටතේ පාලනය වන බව දක්වා ඇතැයි පෙන්වා දුන් ජනාධිපති නීතිඥවරයා ජලය මගින් උත්පාදනය කරන ජල විදුලිය පාලනය කරන ආකාරය එම පනත් කෙටුම්පත තුළින් පැහැදිලිව සඳහන් කර නොමැති බවත් කියා සිටියා.
මේ තුළින් ජල විදුලිය පාලනය කිරීමේ බලය පෞද්ගලික සමාගම් වෙත පැවරීමට හැකියාව තිබෙන බවත් ජනාධිපති නීතිඥවරයා අනතුරු අඟවා සිටියා.යෝජිත පනත්
කෙටුම් පත තුළින් විදුලි බල මණ්ඩලයේ සේවකයින්ට වන්දි ගෙවීම සම්බන්ධයෙන් පැහැදිලිව කරුණු දක්වා දක්වා නොමැති බවත් ජනාධිපති නීතිඥවරයා පෙන්වා දුන්නා.
ජනාධිපති නීතිඥවරයා තවදුරටත් කියා සිටියේ යෝජිත පනත් කෙටුම්පත තුළින් විදුලි බල මණ්ඩලයේ සේවයෙන් ඉවත් කෙරන සේවකයන් සම්බන්ධයෙන් වන්දි ගෙවීමේ ක්‍රමයක් ක්‍රියාත්මක වන බව සඳහන් කලද එය ක්‍රියාත්මක කරන ආකාරය පැහැදිලිව දක්වා නොමැති බවත් සඳහන් කර සිටියා.
මෙම පනත යටතේ පිහිටුවීමට යෝජිත සමාගම පාලනය කරන අධ්‍යක්ෂවරුන්ගේ සුදුසුකම් මොනවාදැයි? මෙම පනත් කෙටුම්පතේ විස්තර කර නොමැති අතර ප්‍රධාන විධායක නිලධාරියා වාණිජ නීතිය පිළිබඳව විශේෂඥයෙකු විය යුතු බව පමණක් දක්වා තිබෙන බවත් ජනාධිපති නීතිඥවරයා පෙන්වා දුන්නා.
යෝජිත පනත් කෙටුම්පතේ අඩංගු ඇතැම් ප්‍රතිපාදන වලින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් සහතික කර තිබෙන මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වීමක් සිදුවන බවත් එබැවින් එම වගන්ති සම්මත කිරීමට අවශ්‍ය නම් පාර්ලිමේන්තුවේ තුළින් දෙකක බහුතර ඡන්දයකින් අනුමත වී ජනමත විචාරණයකින්ද අනුමත විය යුතු බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් පෙත්සම්කරුවෝ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටියා.
උදය කුමාර