ශ්‍රී ලංකා රේගුව මඟින් රඳවා ගෙන සිටින බී.වයි.ඩී විද්‍යුත් වාහන 506 ක් අමතර බැංකු ඇපකරයක් ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මුදාහැරීමට ශ්‍රී ලංකා රේගුව අද අභියාචනාධිකරණය හමුවේ එකග වුණා. තමන් විසින් ආනයනය කළ විද්‍යුත් වාහන මුදා හැරීමකින් තොරව රඳවා ගැනීමට එරෙහිව ජොන් කිල්ස් ඔටෝ ප්‍රයිවට් ලිමිටඩ් සමාගම විසින් ගොනුකර තිබූ පෙත්සමක් අද අභියාචනාධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී මෙම එකඟතාවය පළ කෙරුණා. අභියාචරාදීකරණයේ සභාපති විනිසුරු රෝහාන්ත අබේසූරිය සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරන විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම පෙත්සම කැඳවනු ලැබුවා. එහිදී පෙත්සම්කාර සමාගම වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆර්සානා ජමිල් මහත්මිය අධිකරණය මේ කරුණු දක්වමින් මීට පෙර අධිකරණය හමුවේ ඇතිකරගත් එකඟතාවය මත බැංකු ඇපකරයක් මත රේගුව විසින් රඳවාගෙන සිටි විද්‍යුත් වාහන 991 ක් මුදා හැර තිබූ බව සඳහන් කළා. ඉන් පසුව එම කාණ්ඩයටම අයත් වාහන 506 ක් සිය සේවාදායකයා විසින් ආනයනය කර තිබෙන අතර එම වාහන මුදා හැරීම රේගුව විසින් ප්‍රතික්ෂේප කර තිබෙන බවටත් ජනාධිපති නීතිඥවරිය චෝදනා කළා. රේගුව මෙම ක්‍රියා කලාපය නිසා තම සේවාදායකයාට ව්‍යපාරික කටයුතු කරගෙන යාමට නොහැකි තත්ත්වයක් උද්ගතව ඇති බවත් ඇය සඳහන් කළා. ශ්‍රී ලංකා රේගුව වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් සුමති ධර්මවර්ධන මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් පසුගිය නඩු දිනයේ වාහන 901 ක් බැංකු ඇපකරයක් මත නිදහස් කිරීමේ එකඟතාවය ඇතිවූ අවස්ථාවේදී පෙත්සම්කාර සමාගම අදාළ වාහන පිලිබද විමර්ශන කටයුතුවලට සහාය දක්වන බවට අධිකරණය හමුවේ එකඟ වූ බව කියා සිටියා. එහෙත් මෙම වාහනවලට අදාළ තාක්ෂණික තොරතුරු ලබා දෙන ලෙස රේගුව විසින් පෙත්සම්කාර සමාගම වෙතින් ඉල්ලීම් කළත් ඒවා ලබාදීම ප්‍රතික්ෂේප කර තිබෙන බවත් අතිරේක සොලිසිටර් ජනරාල් වරයා චෝදනා කළා. මෙහිදී අභියාචනාදීකරණයේ සභාපති විනිසුරුවරයා විමසා සිටියේ අතිරේක බැංකු ඇපකරයක් මත දැනට ආනයනය කර තිබෙන වාහන මුදාහැරීම හැකියාවක් තිබේදැයි ප්‍රශ්න කළා. ඒ අවස්ථාවේදී ශ්‍රී ලංකාව රේගුව වෙනුවෙන් පෙනී සිටි නිලධාරීන්ගෙන් උපදෙස් ලබාගෙන අධිකරණය හමුවේ කරුණු දැක්වූ අතිරේක සොලිසිටර් ජෙනරාල් වරයා පෙත්සම්කාර පාර්ශ්වය විසින් අතිරේක බැඳුම්කරයක් ඉදිරිපත් කරන්නේ නම් පෙර ඇති කරගත් එකඟතාවයේ කොන්දේසි මත අදාළ වාහන මුදාහැරීමට හැකියාවක් තිබෙන බව පැවසුවා. බැංකු ඇපකරය වශයෙන් ගෙවිය යුතු මුදල් වටිනාකම ගණනය කර රේගුව විසින් පෙත්සම්කාර පාර්ශවයට දැනුම් දෙන බවත් ඔහු සඳහන් කර සිටියා. එම වටිනාකම දැනුම් දුන් පසුව බැංකු ඇපකරය ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවත් පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරිය සඳහන් කර සිටියා. ඒ අනුව අදාල ඇපකරය අදාළ වාහන මුදා හැරීමට කටයුතු කරන ලෙස අභියාචනාධිකරණය විසින් ශ්‍රී ලංකාවේ රේගුවට දැනුම් දුන්නා. මේ අතර අතිරේක සොලිසිටර් ජෙනරාල් වැඩිදුරටත් අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම වාහන සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයට වලට අදාළව තාක්ෂණික කාරණා කීපයක් පෙත්සම්කාර පාර්ශවය වෙතින් ලබා ගැනීමට අවශ්‍යව තිබෙන බවත් ඒවා මොනවාද? යන්න දැක්වෙන මෝසමක් ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවත් සඳහන් කළා. ඒ අනුව අදාළ මෝසම ඉදිරිපත් කරන ලෙස සොලිසිටර් ජෙනරාල් වරයාට දැනුම් දුන් අධිකරණය පෙත්සම යළි සැප්තැම්බර් මස 15 වනදා කැඳවන ලෙස නියම කළා.