2028 වසරේ විදෙස් ණය ගෙවීමට ශ්‍රී ලංකාවට සිදුවන මුල් වසර හතර තුළ වැඩි ණය ප්‍රමාණයක් ගෙවීමට නොමැති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

ඒ අනුව ණය බර අඩුකර ගැනීම සඳහා වසර හයක් තුළ මනා ලෙස සූදානම් වීමට ශ්‍රී ලංකාවට හැකි බවයි ජනාධිපතිවරයා පැවසුවේ.

වාණිජ ණය ලබා නොගෙන ණය ගෙවීමේ ශක්‍යතාව අත්පත් කර ගැනීම රජයේ අරමුණ බවද ජනාධිපතිවරයා පැවසුවා.

මාලදිවයිනේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය සහ ලංකා වාණිජ මණ්ඩලයේ ශ්‍රී ලංකා – මාලදිවයින් ව්‍යාපාරික කවුන්සිලය එක්ව සංවිධානය කරන ලද, ව්‍යාපාරික සංසදයට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඊයේ පස්වරුවේ එක්වෙමින් මෙම අදහස් පළ කළා.