“කිසිවෙක් අධ්‍යාපනයෙන් මඟ නොහැරීම” යන සංකල්පය පෙරදැරි කර ගනිමින් ආපදාවලට මුහුණ දෙන විදෙස්ගත ශ්‍රමිකයින්ගේ මෙරට සිටින දරුවන්ගේ අධ්‍යාපනය දිරිගැන්වීම සඳහා ජනාධිපති අරමුදලෙන් මූල්‍යාධාර ලබා දීමේ වැඩපිළිවෙළක් ආරම්භ කිරීමට රජය සැලසුම් කර තිබෙනවා. ජනාධිපති අරමුදල, විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය සහ විදේශ සේවා නියුක්ති කාර්යාංශය ඒකාබද්ධව මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට නියමිතයි. විදේශගත සහ විදේශගත වීමට බලාපොරොත්තුවෙන් සිටින ශ්‍රී ලාංකිකයන් උදෙසා ජනාධිපති අරමුදලේ සේවා ව්‍යාප්ත කිරීම පිළිබඳ සාකච්ඡාවක් ඊයේ පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවති බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ. විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත්, ජනාධිපති අරමුදලේ ලේකම් රෝෂන් ගමගේ යන මහත්වරුන් ඇතුළු පිරිසක් ඊට එක්ව තිබෙනවා. විදේශ රටවලදී මිය යන, ආපදාවලට ලක් වන, සිරගත වන හෝ අතුරුදහන් වන ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ගේ මෙරට සිටින දරුවන්ගේ පාසල් අධ්‍යාපනය මෙන්ම, විශ්වවිද්‍යාල අධ්‍යාපනය සුරක්ෂිත කිරීම මෙම වැඩපිළිවෙළ මගින් අපේක්ෂා කෙරෙන බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ. එමෙන්ම විදේශගත වීමට සිටින තරුණ තරුණියන්හට විදේශ භාෂා හැදෑරීම සඳහා මූල්‍යාධාර ලබා දීම, භාෂා පුහුණු පාසල්වල සම්පත්දායකයින් වෙත මාසික දීමනාවක් ලබා දීම, විදේශ රැකියා සඳහා අවශ්‍ය වන නිපුණතා වර්ධනය සඳහා ග්‍රාමීය තරුණ තරුණියන්ට මූල්‍යාධාර ලබා දීම සහ ග්‍රාමීය ප්‍රදේශ කේන්ද්‍ර කර ගනිමින් සංචාරක කර්මාන්තයෙහි නියැළෙන නිපුණතා ශ්‍රමිකයින් බිහි කිරීම ආදිය මෙම වැඩපිළිවෙළෙහි අරමුණු වනවා. විදේශ අමාත්‍යාංශයේ විදේශ රැකියා අංශයේ අතිරේක ලේකම් ආචාර්ය එම්.එම්.එස්.එස්.බී යාලේගම, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කෝශල වික්‍රමසිංහ, ශ්‍රී ලංකා සංචාරක සහ හෝටල් කළමනාකරණ ආයතනයේ සභාපති ධීර හෙට්ටිආරච්චි යන මහත්වරුද, ජනාධිපති අරමුදලේ සහ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිලධාරීන් පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටි බවයි ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් සඳහන් කළේ.