විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන පැමිණි ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් පිරිසක් විසින් ඔහු අත්අඩංගුවට ගෙන තිබුණේ කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ හරිත මාවතේදීයි. ඔහු ඩුබායි සිට ෆිට්ස් එයාර් ගුවන් සේවයේ ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා. ඔහු විසින් රැගෙන ආ ගමන් මලු‍ තුළ විදේශීය නිෂ්පාදිත දුම්වැටි 23,600ක් අඩංගු දුම්වැටි කාටූන් 118ක් රේගු නිලධාරීන් විසින් සොයාගෙන තිබෙනවා. එලෙස සොයාගත් දුම්වැටි තොගයේ වටිනාකම රුපියල් තිස් පන් ලක්ෂ හතලිස් දහසක් පමණ වන බවයි අනාවරණ වී ඇත්තේ. අත්අඩංගුවට ගත් සැකකරු 45 හැවිරිදි කොළඹ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.