රුපියල් පනස් නව ලක්ෂ හතලිස් දහසක් වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන පැමිණි ශ්‍රී ලාංකික ගුවන් මගීන් දෙදෙනෙකු අද අලුයම ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙනතිබෙනවා

අත්අඩංගුවට ගත් මගීන් දෙදෙනා ත්‍රිකුණාමලය ප්‍රදේශයේ පදිංචි මුස්ලිම් ජාතික ව්‍යාපාරිකයන් දෙදෙනෙකි

එයින් එක් අයෙකු 45 හැවිරිදි වියේ පසුවන චීන වරාය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර අනෙකා මුල්ලිපොතාන ප්‍රදේශයේ පදිංචි 33 හැවිරිදි අයෙකි .

ඔවුන් දෙදෙනා මෙම දුම්වැටි තොගය ඩුබායි වලින් මිළදී ගෙන , කුවේට් රාජ්‍යය වෙත පැමිණ , එතැන් සිට 08/19 දින අලුයම 04.15 ට ජසීරා ගුවන් සේවයේ ජේ.9 - 551 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .

ඔවුන් විසින් රැගෙන විත් තිබූ විශාල කාඩ්බෝඩ් පෙට්ටි 04 ක් තුළ , විදේශීය නිෂ්පාදිත දුම්වැටි 39,600 ක් අඩංගු දුම්වැටි කාටූන් 198 ක් සගවා ගෙන සිටියදී මෙම අත් අඩංගුවට ගැනීම සිදු කර තිබුණි .

මෙම ගුවන් මගීන් දෙදෙනා සහ ඔවුන් නීතිවිරෝධී ලෙස රැගෙන ආ දුම්වැටි තොගය හෙට මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය .