හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කිරීම සම්බන්ධයෙන් රාජතාන්ත්‍රික මට්ටමින් කිසිදු විරෝධයක් එල්ල නොවූ බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා පවසනවා. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.

රනිල් වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කිරීමෙන් පසු විපක්ෂයේ දේශපාලන පක්ෂ අතර ඇති වූ එකමුතුව සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකු යොමු කළ ප්‍රශ්නයකට අමාත්‍ය විජිත හේරත් මහතා මෙලෙස පිළිතුරු ලබා දුන්නා. මේ අතර රනිල් වික්‍රමසිංහ මහතාගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා සිදු කරන ලද ප්‍රකාශයක් සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකු මෙහිදී අමාත්‍යවරයා වෙත ප්‍රශ්නයක් යොමු කළා.