නෝර්ටන්බ්‍රිජ් විමලසුරේන්ද්‍ර ජලාශ වේල්ල අසළ ආරක්ෂාවට ඉදි කර තිබු යුධ හමුදා මුරපොළට පස් කන්දක් කඩා වැටීමෙන් එම කදවුරේ ආරක්ෂාවට සිටි යුධ හමුදා සෙබලුන් 05 දෙනෙකු පස් කන්දට යට වී සිටියදී ලක්ෂපාන යුධ හමුදා කදවුරේ බට පිරිස් විසින් මුදා ගෙන දික්ඔය මූලික රෝහල වෙත ඇතුලත් කල බව නෝර්ටන්බ්‍රිජ් පොලිසිය පැවසීය.

19 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුලුවේ සැරයන් මේජර් වරයෙකු ඇතුලු සෙබලුන් 05 දෙනෙකු එම මුර පොලේ රාජකාරි කරමින් සිටියදී නෝර්ටන්බ්‍රිජ් ප්‍රදේශයට ඇද හැලුණු අධික වර්ෂාවත් සමග මුරපොළට ඉදිරියෙන් වූ නෝර්ටන්බ්‍රිජ් ගිනිගත්හේන ප්‍රධාන මාර්ගයේ පස් කන්දක් ඊයේ දින 11:30ට පමණ කඩා වැටී එම මුරපොල සම්පුර්ණයෙන්ම යට විය.

මුරපොල පස් කන්දෙන් යටවන දුටු නෝර්ටන්බ්‍රිජ් පොලිසියේ නිළධාරියෙකු ඒ බව ලක්ෂපාන යුධ හමුදා කදවුරේ අණ දෙන නිළධාරිවරයාට දැනුම් දිමෙන් පසු වහා ක්‍රියාත්මක වූ අණ දෙන නිළධාරියා එම කදවුරේ බට පිරිස් සමග පැමිණ නෝර්ටන්බ්‍රිජ් පොලිසියේ නිළධාරින් සමග එක් වී පස් වලට යට වී සිටි බට පිරිස් මුදා ගෙන දික්ඔය මූලික රෝහල වෙත ඇතුළත් කර ඇත.

පස් කන්ද කඩා වැටිමෙන් නෝර්ටන්බ්‍රිජ් ගිනිගත්හේන ප්‍රධාන මාර්ගයේ ගමනා ගමන කටයුතුද සම්පුර්ණයෙන්ම ඇනහිට ඇත.