අමාත්‍යවරයක වශයෙන් කටයුතු කරමින් රුපියල් මිලියන 75 කට ආසන්න වත්කම් සහ මුදල් අයතා ලෙස අත්පත් කර ගත්තේ යැයි චෝදනා කරමින් හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන නඩුව විභාගයට ගැනීම සඳහා කොළඹ මහාධිකරණය අද දින නියම කළා.

මෙම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහාල් මහතා ඉදිරියේ කැඳවනු ලැබුවා.

ඒ අනුව අදාළ නඩුව දෙසැම්බර් 18 වැනිදා සහ ජනවාරි 20 වනදා යන දිනවල විභාගයට ගැනීමට ද විනිසුරුවරයා දින නියම කළා.

මෙම නඩුව කැඳවනු ලැබූ අවස්ථාවේදී අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් අසාද් නවාවි මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම නඩුවට අදාළව විත්තිය වෙත ලබාදිය යුතු ලේඛන සියල්ල මේ වන විට ලබාදී තිබෙන බව සඳහන් කළා.

අදාල ලේඛන පරීක්ෂාවට ලක් කළ යුතු බව සඳහන් කළ විත්තිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනුර මැද්දේගොඩ මහතා ඒ සඳහා දිනයක් ලබා දෙන ලෙස ඉල්ලා සිටියා.

ඒ අනුව අදාළ නඩුව විභාගයට ගැනීම සඳහා විනිසුරුවරයා දින නියම කළා.

2010 වසරේ සිට 2015 වසර දක්වා කාල සීමාව තුළ රජයේ අමාත්‍යවරයකු වශයෙන් කටයුතු කරමින් සිය නීත්‍යානුකූල ආදායම අභිබවා රුපියල් මිලියන 75 කට ආසන්න වත්කම් සහ මුදල් අත්පත් කර ගැනීම තුළින් අල්ලස් පනත යටතේ වරදක් සිදු කළේ යැයි චෝදනා කොට අල්ලස් කොමිසම විසින් ඉකුත් යහපාලන රජය සමයේ හිටපු අමාත්‍ය විමල් විරවංශ මහතාට එරෙහිව මෙම නඩුව ගොනු කර තිබුණා.