විල්පත්තු ප්‍රදේශයේ පිහිටි රක්ෂිත වනාන්තර එළිපෙහෙළි කර එහි අවතැන් වූ මුස්ලිම් ජනතාව යළි පදිංචි කිරීම නීති විරෝධී බවත් එවැනි නීති විරෝධී නැවත පදිංචි කිරීම් ඉවත් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් ඉල්ලා හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් ඇතුළු පිරිසකට එරෙහිව ගොනු කෙරුණු රිට් පෙත්සමක් නිෂ්ප්‍රභ කිරීමට අභියාචනාධිකරණය නියෝග කලා.
මේ වන විට නීතිඥ භාවය ඉවත් කර තිබෙන සමාජ ක්‍රියාකාරිකයකු වන නාගානන්ද කොඩිතුවක්කු මහතා සහ මාධ්‍යවේදී මාලින්ද සෙනෙවිරත්න විසින් මේ පෙත්සම ඉදිරිපත් කර තිබුණා.
මේ පෙත්සම තුළින් සඳහන් කර තිබුණේ විල්පත්තු වනාන්තර කලාපය රක්ෂිත වනාන්තරයක් ලෙස වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත්කර තිබෙන බවයි.
එසේ තිබියදී මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන සමයේ එම රජයේ අමාත්‍යවරයකු වශයෙන් කටයුතු කළ වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා විසින් රක්ෂිත වනාන්තර කලාප හෙළි පෙහෙළි කර අවතැන් වූ මුස්ලිම් ජනතාව යළි පදිංචි කිරීමට කටයුතු කළ බවත් එම පෙත්සම තුළින් චෝදනා කර තිබෙනවා.
මෙසේ ජනතාව යළි පදිංචි කළ ප්‍රදේශ මීට පෙර ජනාවාස වශයෙන් පැවති ප්‍රදේශය යැයි වග උත්තරකාර රිෂාන් බදියුදීන් හිටපු අමාත්‍යවරයා ප්‍රකාශ කළත් එය සම්පූර්ණයෙන්ම සාවද්‍ය බවත් පෙත්සමේ සඳහන් කර තිබෙනවා.
වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ගැසට් නිවේදන සහ මිනුම් දෙපාර්තමේන්තුවේ සිතියම් වලට අනුව හෙළි පෙහෙළි කර නැවත පදිංචි කිරීම් සිදුකළ වනාන්තර ප්‍රදේශ රක්ෂිත වනාන්තර ලෙස දීර්ඝ කාලයක් පැවැති බවත් පෙත්සම තුළින් අවධාරණය කර තිබෙනවා.
එසේ තිබියදී අනීතික ආකාරයෙන් රක්ෂිත වනාන්තර කලාප හෙළි පෙහෙළි කර අවතැන් වූ ජනතාව යළි පදිංචි කිරීමට රිෂාඩ් බදියු්දීන් ඇතුළු එවක රජයේ බලධාරීන් ගනු ලැබූ තීරණය නීතියට පටහැනි බවට තීන්දුවක් ලබා දෙන ලෙසත් එවැනි නැවත පදිංචි කිරීම් ඉවත් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් ඉල්ලා මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණා.
මෙම නඩුව ඊයේ අභියාචනාදීකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී පෙත්සම්කාර පාර්ශවයේ නීතිඥවරිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් පෙත්සම සලකා බැලීම සඳහා වෙනත් දිනයක් ලබා දෙන ලෙස ඉල්ලා සිටියා.
එම ඉල්ලීමට අදාල පෙත්සමේ වග උත්තරකරුවකු ලෙස නම්කර තිබූ හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ හිජාබ් හිස්බුල්ලා මහතා දැඩි විරෝධය පළ කළා.
එම නීතිඥවරයා සඳහන් කළේ මෙම පෙත්සම 2018 වසරේ ගොඩු කළ පෙත්සමක් බවත් පෙත්සම්කාර පාර්ශ්වය කරුණු තහවුරු කිරීම දිනෙන් දිනම කල් දැමීම සිටීම අනුමත කළ නොහැකි බවයි.
මාධ්‍ය හරහා ප්‍රචාරයක් ලබා ගැනීමේ අරමුණින් මෙම වෙත්සම ඉදිරිපත් කර තිබෙන බවත් ඒ අනුව අදාල පෙත්සම නිෂ්ප්‍රභ කරන ලෙසත් ඔහු අධිකරණයෙන් ඉල්ලා සිටියා.
එම ඉල්ලීම පිළිගත් අභියාචනාධිකරණය අදාළ පෙත්සම නිෂ්ප්‍රභ කිරීමට තීන්දු කළා.