ඊශ්‍රායල් ජාතිකයින් සහ ආරුගම්බේ ප්‍රදේශය සම්බන්ධයෙන් මේ දිනවල සමාජයේ පැතිර යන කතාබහ පිළිබඳ කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අද අදහස් පළ වුණා. එහිදී කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසුවේ සංචාරක අමාත්‍යංශය එක් එක් රටවලින් සංචාරකයින්ගේ පැමිණීම සැලකිල්ලට ගනිමින් තීන්දු තීරණ ගන්නා බවයි.

මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි කිරීම සම්බන්ධයෙන් ද මෙහිදී මාධ්‍යවේදීන් ප්‍රශ්න කළා. සැබෑ ලෙසම ජීවත් වීමට අසීරු තත්ත්වයේ සිටින හිටපු මන්ත්‍රීවරයෙකු වෙතොත් ඔහුට හෝ ඇයට අස්වැසුම වැනි රජයේ සහනාධාර වැඩසටහනකට ඉල්ලුම් කළ හැකි බවයි අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මෙහිදී කියා සිටියේ. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ රක්ෂණාවරණය අඩු කිරීම සම්බන්ධයෙන් ද මෙහිදී අදහස් පළ වුණා. මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා වූ සමූහ රක්ෂණාවරණ සීමාව සංශෝධනය කිරීමට ඉදිරිපත් වූ යෝජනාවකට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා. ඒ අනුව ඔක්තෝම්බර් 09 වන දිනෙන් ආරම්භ වීමට නියමිත රක්ෂණ වර්ෂයේ සිට ඉදිරියට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු සඳහා වන රක්ෂණාවරණයේ ප්‍රතිලාභ රුපියල් 250,000කට සීමා කර ඇති. එක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු සඳහා වර්ෂයක් සඳහා රුපියල් මිලියනයක උපරිම රක්ෂණාවරණයකට යටත්වන අයුරින් සමූහ රක්ෂණාවරණයක් ක්‍රියාත්මක කිරීමට 2023 වසරේ කැබිනට් අනුමැතිය හිමිව තිබූ අතර මෙවර අයවැය ඉදිරිපත් කරන අවස්ථාවේදී ජනාධිපතිවරයා පැවසුවේ එම රක්ෂණාවරණ සීමාව රුපියල් 250,000 දක්වා අඩු කිරීමට යෝජනා කරන බවයි.