ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන SLC T20 ලීග් 2025 තරඟාවලිය අදින් ආරම්භ වනවා. අද සිට ලබන 16 වනදා දක්වා පැවැත්වෙන මෙම තරගාවලියේදී කණ්ඩායම් තුනක් තරඟ වැදීමට නියමිතයි. නිල්, කොළ සහ අළු ලෙස නම් කර ඇති එම කණ්ඩායම් තුනට නායකත්වය ලබා දෙන්නේ දුනිත් වෙල්ලාගේ, කමිඳු මෙන්ඩිස් සහ චරිත් අසලංකයි. ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරන ක්‍රීඩකයින් සහ මෑත කාලයේදී දක්ෂතා දැක්වූ යොවුන් ක්‍රීඩකයන් රැසක් මෙම කණ්ඩායම් තුනේ සංචිත සඳහා නම් කර තිබෙනවා. අද සිට මූලික වටයේ තරඟ 06ක් පැවැත්වීමට නියමිත අතර එම තරඟවල ප්‍රතිඵල අනුව තේරී පත්වන කණ්ඩායම් දෙක ලබන 16 වනදා පැවැත්වෙන අවසන් තරඟය සඳහා තරඟ වැදීමට නියමිතයි. මෙම සියලු තරඟ කොළඹ SSC ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇති අතර සියලු තරඟ නොමිලේ නැරඹීමට ප්‍රේක්ෂකයන්ට අවස්ථාව සලසා දී තිබෙනවා. තරඟාවලිය ආරම්භ කරමින් අද පළමුව තරඟ වදින්නේ දුනිත් වෙල්ලාලගේ නායකත්වය දරන නිල් කණ්ඩායම සහ කමිඳු මෙන්ඩිස් නායකත්වය දරන කොළ කණ්ඩායමයි. ශ්‍රී ලංකා විස්සයි විස්ස කණ්ඩායමේ ඉදිරි තරඟවලට සහ එළඹෙන විස්සයි විස්ස ලෝක කුසලානය සඳහා ක්‍රීඩකයින් තෝරා ගැනීම සඳහා ඔවුන්ගේ දක්ෂතා මැන බැලීම මෙම තරඟාවලිය සංවිධානය කිරීමේ අරමුණක් වනවා. මෙම තරඟාවලියේ සියලු තරඟ www.talenttv.lk ඔස්සේ නැරඹීමට අවස්ථාව සලසා තිබෙනවා. තරඟාවලියේ නිල රේඩියෝව වන්නේ නෙත් එෆ් එම් රේඩියෝවයි.
Published