අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්පේ සමීපතමයෙකු වන චාර්ලි කර්ක් නමැත්තා වෙඩි තබා ඝාතනය කර තිබෙනවා. ඒ, යූටා ප්‍රාන්තයේ විශ්වවිද්‍යාලයක දේශනයකට එක්ව සිටියදීයි. 31 හැවිරිදි චාර්ලි කර්ක් “ටර්නින් පොයින්ට් අමෙරිකා” නමැති කොන්සවේටිව් තරුණ සංවිධානයේ ප්‍රධාන විධායක නිලධාරියා සහ සම නිර්මාතෘවරයා වන බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ. සමාජ මාධ්‍ය ජාල ඔස්සේ චාර්ලි කර්ක් වටා මිලියන සංඛ්‍යාත අනුගාමිකයන් පිරිසක් එක්ව සිට තිබෙනවා. වෙඩික්කරු විසින් ඔහු ඉලක්ක කර එල්ල කර ඇත්තේ එක් වෙඩි ප්‍රහාරයක් පමණක් වන අතර එය ඔහුගේ ගෙල ප්‍රදේශයට වැදී ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙනවා. වෙඩි තැබූ පුද්ගලයා සොයා මේ වන විටත් විමර්ශන ක්‍රියාත්මකයි. මෙම සිද්ධිය සම්බන්ධයෙන් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය ටෘත් සමාජ මාධ්‍ය ජාලය ඔස්සේ ශෝක පළ කර තිබෙනවා. ඔහු පවසා ඇත්තේ මියගිය චාර්ලි කර්ක් “මහා පුරාවෘත්තයක්” බවයි. ඔහු තරම් හොඳින් තරුණ හදවත් තේරුම්ගත් පුද්ගලයෙකු අමෙරිකා එක්සත් ජනපදයේ නොමැති බවද අමෙරිකානු ජනාධිපතිවරයා පවසා තිබෙනවා. තමන් ආදරය කළ සහ අගය කළ පුද්ගලයෙකු අහිමි වී ඇති බවයි ඩොනල්ඩ් ට්‍රම්ප් වැඩිදුරටත් පවසා ඇත්තේ. මේ අතර මෙම සිද්ධියෙන් පසු ධවල මන්දිරය ඉදිරිපිට අමෙරිකානු ජාතික ධජය අඩකුඹු කර තැබීමට ද අමෙරිකානු බලධාරින් පියවර ගෙන තිබෙනවා.
Published