ශ්‍රී ලංකාවාසී අප මෙවර නත්තල සමරන්නේ ජාතියක් ලෙස ඉතා වේදනාකාරී ස්වභාවික ව්‍යසනයකට මුහුණදීමෙන් පසු, අධිෂ්ඨානයෙන් යළි ගොඩනැඟෙමින් සිටින තීරණාත්මක අවස්ථාවක බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

නත්තලේ සැබෑ අරුත වන්නේ, ප්‍රේමය, සාමය, සතුට, බෙදා ගැනීම සහ පරිත්‍යාගයයි.

පීඩාවට පත් වූවන්ට සහෝදර හැඟීමෙන් පිහිටවීම සහ සමස්ත මනුෂ්‍ය වර්ගයාගේ විමුක්තිය උදෙසා කැපවීම ඒ අතර ප්‍රමුඛ වන බවයි ජනාධිපතිවරයා නිකුත් කළ නත්තල් දින සුභාෂිංසන පණිවිඩයේ දැක්වෙන්නේ.

කිතුනු දහමේ මෙන්ම සියලු ආගම්වල ඉගැන්වීම වන අසල්වැසියා විපතට පත් වූ අවස්ථාවේදී අත්නොහැර සහෝදරත්වයෙන් වැළඳ ගැනීමේ උතුම් මනුසත් ගුණාංගය සහ නොසැලෙන අධිෂ්ඨානය පසුගිය ව්‍යසනය හමුවේ මෙරට ජනතාව නැවත නැවතත් පසක් කර ඇති බවයි ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ.

කිසිදා යාමට අපේක්ෂා නොකළ මංමාවත්වල සිය සහෝදර ජනතාව වෙනුවෙන් ඇවැසි දෑ රැගෙන ඔවුන් ඇවිද ගියේ අසල්වැසියාට ප්‍රේම කරන, සාමය, සමගිය රජයන, පරිත්‍යාගයෙන් සහ සහකම්පනයෙන් යුත් සමාජයක් ගොඩනැඟීමට ආරාධනා කෙරෙන උතුම් නත්තලේ අරුත සැබෑ ලෙසම අර්ථ ගන්වමින් බව තම විශ්වාස බවද ජනාධිපතිවරයා පෙන්වා දෙනවා.

අන්ධකාරය පලවා හරින්නට ඇවැසි නම් ආලෝකයේ දීප්තිය පතුරුවාලිය යුතුයි. බෙත්ලෙහෙමේ දිළිඳු ගවලෙනක ඉපදී කල්වාරි කඳු මුදුනේදී මිනිස් සමාජය පාපයෙන් මුදවා ගනු වස් කුරුසයට කැප වූ ජේසුස් වහන්සේ දැඩි අධිෂ්ඨානය, විශ්වාසය සහ ප්‍රඥාවේ මහිමයෙන් මරණය ජයගෙන උත්ථානය ලැබූ බව ක්‍රිස්තු ධර්මයේ සඳහන්.

යථාර්ථයේ වේදනාකාරී සත්‍යයට මුහුණ දෙමින් අභියෝග ජය ගෙන, රටක් ලෙස එක්ව නැගී සිටිමු‘යි සියලු දෙනාට ආරාධනා කරන බවත් අසිරිමත් නත්තල සාමය, සතුට පිරුණු සහ දයාව පෙරදැරිව මනුසත් බව පැහැබර කරන්නා වූ සුබ නත්තලක් වේවා‘යි ප්‍රාර්ථනා කරන බවත් ජනාධිපතිවරයා නිකුත් කළ නත්තල් දින සුබපැතුම් පණිවිඩයේ වැඩිදුරටත් සදහන්.

අග්‍රාමාත්‍ය ආචාර්ය, හරිනි අමරසූරිය මෙනෙවියද නත්තල් දිනය වෙනුවෙන් සුබ පැතුම් පණිවිඩයක් නිකුත් කර තිබෙනවා.

දෙසැම්බර් මාසය උදා වත්ම කිතුනු බැතිමත්හු අසිරිමත් නත්තල සැමරීමට සැරසෙනවා.

සාමයේ පණිවිඩය රැගෙන ජේසු බිළිඳා උපත ලැබූ පුවත බෙත්ලෙහෙම් පුරයෙන් ලොවට ඇසුණු ඒ නත්තල, ප්‍රීතියෙන් සැමරීම කිතුනුවන්ගේ අභිලාෂයයි.

නමුත් මෙවර සීතල දෙසැම්බරය උදාවූයේ වෙනදා තරම් ප්‍රීතියකින් හෝ උද්‍යෝගයකින් නොවේ.

මුළු මහත් රටම කම්පා කරමින් ඇති වූ ස්වභාවික ව්‍යසනයෙන් විපතට පත්වූ දහස් ගණනක් වූ අපේම සහෝදර ජනතාවගේ දුක් වේදනා හා සෝ සුසුම් මධ්‍යයේයි.

එහෙත් නත්තලේ සැබෑ අරුත පෙරදැරිව, ජේසුස් වහන්සේගේ මඟපෙන්වීම් අනුව, අපේ රටේ ජනතාව සියලු භේද දුරලා එකාවන්ව සමගිය හා සාමූහිකත්වය පෙරදැරිව විපතට පත් තම සහෝදර ජනතාව වෙනුවෙන් ඉදිරිපත් වූයේ ආදරය, සහකම්පනය මෙන්ම ජේසුස් වහන්සේ දේශනා කළ ‘අනෙකාට ප්‍රේම කිරීමේ‘ උතුම් ධර්මතාව ලොවටම පෙන්වා දෙමින් බවයි අග්‍රාමාත්‍යවරිය පෙන්වා දෙන්නේ.

රට යථා තත්ත්වයට පත් කර ගැනීම සඳහා සියලු ජන කොටස් ඒකායන පරමාර්ථයකින් සහ සාමූහික වගකීමකින් දේශයේ අනාගතය වෙනුවෙන් එකමුතු විය යුතු අවස්ථාවකට අප දැන් එළැඹ ඇති බවද අග්‍රාමාත්‍යවරිය නිකුත් කළ නත්තල් දින සුබ පැතුම් පණිවිඩයේ සදහන්.

සැබෑ වෙනසක් බලාපොරොත්තු වූ ලක්ෂ සංඛ්‍යාත ජනතාවගේ අපේක්ෂාවන් කිසිදු අයුරකින් කඩ වීමට ඉඩ නොතබා, ඔවුන් අපේක්ෂා කරන ”අලුත් රටක්” ගොඩනැගීමේ ඒකායන අරමුණ වෙනුවෙන් අප නිරන්තරයෙන් වෙහෙසෙන බවද එහි සදහන්.

වඩා යහපත් හෙට දවසක් උදෙසා වන අප සැමගේ සිහිනය වෙනුවෙන් පුරවැසියන් ලෙස එකමුතුව, ආදරයෙන්, සහකම්පනයෙන් මෙන්ම වගකීම් සහගතව කටයුතු කිරීමට මෙවර නත්තල් දිනයේ සියලු දෙනා අධිෂ්ඨාන කර ගත යුතු බවද අග්‍රාමාත්‍යවරිය නිකුත් කළ නත්තල් දින සුබපැතුම් පණිවිඩයේ දැක්වෙනවා.

2025 නත්තල අපට සිහිපත් කරවන්නේ, අහිමි වූ දෑ පමණක් නොව, අප තුළ ඇති අහිමි නොවූ දේ එනම්, එකිනෙකාට දයාව දැක්වීම, එකට සිටීම සහ හෙට දිනක් පිළිබඳ බලාපොරොත්තුවේ විශ්වාසය බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා නත්තල් දින සුබපැතුම් පණිවිඩයක් නිකුත් කරමින් පෙන්වා දෙනවා.

එම විශ්වාසය සමඟ, ශ්‍රී ලංකාව නැවතත් ශක්තිමත්, සාධාරණ සහ මානුෂීය ජාතියක් ලෙස නැගී සිටිය හැකි බව තමන් දැඩිව විශ්වාස කරන බවයි විපක්ෂ නායකවරයා පවසන්නේ.

එබැවින් මෙවර නත්තල සකල ලෝකවාසී සහ ශ්‍රී ලංකාවාසී කිතුණු බැතිමතුන්ටත් සමස්ත පුරවැසි පරපුරටත් සාමය, සෞභාග්‍ය, සංහිදියාව, එකමුතුකම සහ නව බලාපොරොත්තුවෙන් පිරි නත්තලක් වේවායි ප්‍රාර්ථනා කරන බවද විපක්ෂ නායකවරයා නිකුත් කළ නත්තල් දින සුබපැතුම් පණිවිඩයේ වැඩිදුරටත් සඳහන්.