ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධාන කරන SLC T20 ක්‍රිකට් තරඟාවලියේ තවත් තරඟයක් අද පැවැත්වෙනවා. ඒ, කොළඹ  SSC ක්‍රීඩාංගණයේදීයි. කමිඳු මෙන්ඩිස්ගේ නායකත්වයෙන් යුත් කොළ කණ්ඩායම සහ දුනිත් වෙල්ලාගේ නායකත්වයෙන් යුත් නිල් කණ්ඩායම අතර එම තරඟය පැවැත්වෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් SLC T20 ලීග් 2025 තරඟාවලිය සංවිධාන කර ඇත්තේ ශ්‍රී ලංකා විස්සයි විස්ස කණ්ඩායමේ ඉදිරි තරඟවලට සහ එළඹෙන විස්සයි විස්ස ලෝක කුසලානය සඳහා ක්‍රීඩකයින් තෝරා ගැනීම සඳහා ඔවුන්ගේ දක්ෂතා මැන බැලීමටයි. මෙම තරගාවලියේදී කණ්ඩායම් තුනක් තරඟ වදිනවා. නිල්, කොළ සහ අළු ලෙස නම් කර ඇති එම කණ්ඩායම් තුනට නායකත්වය ලබා දෙන්නේ දුනිත් වෙල්ලාගේ, කමිඳු මෙන්ඩිස් සහ චරිත් අසලංකයි. ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරන ක්‍රීඩකයින් සහ මෑත කාලයේදී දක්ෂතා දැක්වූ යොවුන් ක්‍රීඩකයන් රැසක් මෙම කණ්ඩායම් තුනේ සංචිත සඳහා නම් කර තිබෙනවා. SLC T20 ලීග් 2025 තරඟාවලිය පසුගිය 7 වනදා ආරම්භ වූ අතර එහිදී නිල් කණ්ඩායම පරාජය කරමින් කොළ කණ්ඩායම ජයගත්තා. දෙවනි තරගයෙන් නිල් කණ්ඩායම පරාජයට පත් වූ අතර එම තරගය ජයගත්තේ අළු කණ්ඩායමයි. කෙසේවෙතත් අළු කණ්ඩායම පරාජය කළ කොළ කණ්ඩායම එම තරගාවලියේ තුන් වන තරගය ජයගත්තා. SLC T20 ලීග් 2025 තරඟාවලිය සිව් වන තරගය කොළඹ SSC ක්‍රීඩාංගණයේදී අද පස්වරු 1.30 ට ආරම්භ වුනා. දුනිත් වෙල්ලාගේ නායකත්වයෙන් යුත් නිල් කණ්ඩායම සහ කමිදු මෙන්ඩිස්ගේ නායකත්වයෙන් යුත් කොළ කණ්ඩායම යළි එහිදී තරග වදිනවා. කොළ කණ්ඩායම මෙතෙක් පැවති තරග දෙකම ජයගෙන ඇති අතර නිල් කණ්ඩායම මෙතෙක් පැවති තරග දෙකම පරාජයට පත්ව තිබෙනවා. මෙම තරඟාවලියේ සියලු තරඟ www.talenttv.lk ඔස්සේ නැරඹිය හැකියි. තරඟාවලියේ නිල රේඩියෝව වන්නේ නෙත් එෆ් එම් රේඩියෝවයි.